පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම: ඇමැති හර්ෂණ මාධ්‍ය හමුවේ කළ විශේෂ ප්‍රකාශය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්මතවීමෙන් පසු කිසිදු මන්ත්‍රීවරයෙකුට විශ්‍රාම වැටුප් හිමි නොවන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද (07) පාර්ලිමේන්තුවට පැවසුවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

පනත් කෙටුම්පතෙහි පළමුවර කියවීමෙන් පසු මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ අතර එහිදී වැඩිදුර අදහස් දැක්වූ අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ මෙම පනත් කෙටුම්පත දෙවැනිවර සහ තුන්වනවර කියවීමෙන් පසු එය නීතියක් බවට පත් වන බවයි.

“මෙම පනත නීතියක් බවට සම්මත වුණාට පසුව එතැන් සිට කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට  විශ්‍රාම වැටුප හිමි වෙන්නේ නැහැ. ඒ වගේම ඔවුන් මේ පනත සම්මතවීමට පෙර ලබාගත්ත විශ්‍රාම වැටුප්වලට අගතියක් වෙන්නේ නෑ. ඒවා නැවත ගෙවන්න ඕනි කියලා එකක් මේ පනතේ නෑ. මේ පනත සම්මතවන දිනයේ සිට වෙනදේ තමයි විශ්‍රාම වැටුප් ගෙවන එක නවත්වන එක.

අපි මේක ගේන්න හේතුව තමයි දූෂිත දේශපාලන සංස්කෘතිය විසින් හැමවිටම තමන්ට වරදාන වරප්‍රසාද බෙදාගන්නා ක්‍රමවේදයක් තිබුණා. ඒ නිසා විශේෂයෙන් මහජන විරෝධතාවයක් තියනවා මේ අවුරුදු පහක් රැකියාව කරලා ඒකට විශ්‍රාම වැටුප ගන්නේ. සාමාන්‍ය රජයේ සේවකයෙක් වසර ගණනාවක් සේවය කරලා, කොන්දේසි ගණනාවකට මුහුණදීලා තමයි ඔවුන්ට  විශ්‍රාම වැටුප ලැබෙන්වේත

අපි ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කළා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම අහෝසි කරනවා කියන කාරණාව. ඒ වගේම විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වැටුප හැර වරප්‍රසාද යම් ප්‍රමාණයකටත් ඉවත් කළා. ඉතිං මේකෙන් පෙන්නුම් කරන්නේ ජාතික ජන බලවේගය ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු එකෙන් එක ඉටු කරමින් අපේ ගමන යනවා කියන කාරණාව.

ඉදිරියටත් අපි ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන තව දේවල් ඉටු කරනවා. මේකට අධිකරණයට යන්න පුළුවන් මේක ව්‍යවස්ථා විරෝධී නම්. නමුත් අපි රජයක් වශයෙන් ඉන්න ස්ථාවරය තමයි මේ අපි දීපු පොරොන්දුව මත මෙම විශ්‍රාම වැටුප අහෝසි කිරීම. යම් මන්ත්‍රීවරයකුට මේ විශ්‍රාම වැටුප නැතිව අපහසුතා තියනවානම් ඒ ගැන රජයෙන් වෙනම ඉල්ලීමක් කරන්න පුළුවන්. ඉන් පසුව ඒ මන්ත්‍රීවරයා දිහා බලලා ඔහුට ආර්ථීක සහන අවශ්‍ය නම් ඒ ගැන සලකා බලන්න පුළුවන්” අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා වැඩි දුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website