කුරුණෑගල දිස්ත්රික්කයේ ගල්ගමුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නාකොළගනේ වනභූමිය, වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ නිල වශයෙන් ‘අභයභූමියක්‘ ලෙස ප්රකාශයට පත් කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව පරිසර අමාත්ය ධම්මික පටබැඳි මහතා පැවසුවේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්යවරයා පැවසුවේ, වසර ගණනාවක් පුරා ස්වභාවික වනාන්තරයක්ව පැවති මෙම ප්රදේශයේ ඉඩම් අක්කර 1,500කට ආසන්න ප්රමාණයක්, මෑත කාලයේදී විවිධ පෞද්ගලික සමාගම් විසින් වාණිජ භෝග වගාවන්, අනවසර ඛනිජ කැණීම් සහ මහා පරිමාණ පස් කැපීම් වැනි පරිසර හානිකර ක්රියාකාරකම් සඳහා යොදා ගෙන තිබූ බවයි.
ගල්ගමුව කලාපය මෙරට වන අලින් බහුලව සැරිසරන සංවේදී පරිසර පද්ධතියක් වන බැවින්, මෙම තීරණය අලි සංරක්ෂණය මෙන්ම ගම්වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටද දායක වනු ඇති බව ද අමාත්යවරයා පැවසුවේය.
වන අලි ඇතුන්ගේ ස්වභාවික වාසස්ථාන හා සංචාරක මංපෙත් නැවත ස්ථාපිත කරමින්, ආහාර හා ජල අවශ්යතා සපුරාලන සුවිශේෂී අලි සුපෝෂණ කලාපයක් ලෙස මෙම භූමිය යළි ප්රතිසංස්කරණය කෙරේ.
වන සතුන්ගේ වාසස්ථාන අහිමිවීමෙන් ගම්මාන කරා වන අලි පැමිණීම පාලනය කරමින්, ගම්වැසියන්ගේ ජීවිත හා දේපළ සුරක්ෂිත කිරීමට මෙමගින් පසුබිම සැලසෙනු ඇත.
දේශීය ශාක හා වනජීවීන්ගේ ස්වභාවික පැවැත්ම තහවුරු කෙරෙන මෙම තීරණය ඔස්සේ වන විනාශය හේතුවෙන් පිරිහී ගිය භූමියට නැවත ස්වභාවික ආවරණයක් ලබාදෙනු ඇත.
වන සතුන්ට නිදහසේ සහ සුරක්ෂිතව ජීවත්වීමට අවශ්ය ස්වභාවික පරිසරය තහවුරු කිරීම රජයේ ප්රමුඛ ප්රතිපත්තියක් වන අතර, මෙවැනි සංවේදී පරිසර පද්ධති හඳුනා ගෙන ඒවා වනජීවී හා ජෛව කලාප ලෙස නීත්යානුකූලව ප්රකාශයට පත් කිරීමේ වැඩපිළිවෙළ පරිසර අමාත්යාංශය හා අදාළ රාජ්ය ආයතන එක්ව ඉදිරියටත් ක්රියාත්මක කරන බව පරිසර අමාත්ය ධම්මික පටබැඳි මහතා පැවසුවේය.











