ප්‍රශ්නගත 6 ශ්‍රේණියේ මොඩියුල ගැන කමිටු වාර්තාව ඉදිරිපත්ව තිබෙනවා – විජිත හේරත්

ප්‍රශ්නගත 6 ශ්‍රේණියේ මොඩියුල අන්තර්ගතය පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද අභ්‍යන්තර කමිටුව සිය වාර්තාව ඉදිරිපත් කර ඇති බවත් ඒ අනුව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ පටු අරමුණු ඉටු කර ගැනීම සඳහා ඇතැම් පිරිස් අග්‍රාමාත්‍යවරිය ඉලක්ක කරගනිමින් සිදු කරන ප්‍රකාශ රජය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ද ඔහු අවධාරණය කළේය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කළ අධ්‍යාපන අමාත්‍යවරයා, “නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් රජය ගන්නා ප්‍රතිපත්තිමය තීරණයක්. මෙවැනි ව්‍යුහාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් මෑත ඉතිහාසයේ සිදු වී නැහැ. අධ්‍යාපන විශේෂඥයින්ගේ මතය අනුව වසර අටකට වරක්වත් මෙවැනි ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු වුව ද මෙරට අධ්‍යාපන පද්ධතියේ එවැනි ක්‍රියාවලියක් පසුගිය කාලය තුළ සිදු වී නැහැ. මෙම ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීමට පෙර සියලු පාර්ශ්ව දැනුවත් කළා, පක්ෂ සහ විපක්ෂ නියෝජිතයින් බොහෝ දෙනාගේ මතය වූයේ හැකි ඉක්මනින් මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බවයි.

ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කර මුද්‍රණය අවසන් කර ඇති 6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂා මොඩියුලයක් සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ සිදු වෙමින් ති‌බෙනවා. එය 6 ශ්‍රේණියට ඇතුළත් නොවිය යුතු අන්තර්ගතයක් බව හඳුනාගෙන එම කොටස ඉවත් කිරීමට රජය කටයුතු කර තිබෙනවා. වැරදි අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය කිසිදු ලෙසකින් ඉඩ තියන්නේ නැහැ. රජයක් ලෙස ඒ පිළිබඳ සම්පූර්ණ වගකීම ජය භාර ගන්නවා. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර පරීක්ෂණ කටයුතු මේ වන විට සිදු වෙමින් තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය ද 6 ශ්‍රේණියේ මොඩියුලය සම්බන්ධයෙන් අභ්‍යන්තර වශයෙන් පරීක්ෂණයක් කරමින් සිටින අතර ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. හඳුනාගත් වැරදි නිවැරදි කරමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගන්නවා.

තර්කානුකූල, බුද්ධිමත් සහ නූතන සමාජයට ගැළපෙන දරු පරපුරක් බිහි කිරීම මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මූලික අරමුණයි. ඒ සඳහා රජය සම්පූර්ණයෙන්ම බැඳී සිටිනවා. දෙමව්පියන් ඒ් සම්බන්ධයෙන් කිසිදු අනියත බියක් ඇති කර කර නොගත යුතුයි” අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website