රතුඉර දේශපාලන සතිය – ජනපති දිනපොත: නව වසරේ, නව සැලසුම් සමඟ රට ආර්ථික ජයග්‍රහණය කරා ගෙන යමු – ජනපති

2025 වර්ෂයේ අවසාන සතිය ජනපති අනුර කුමාර දිසානායකට මෙන්ම අමාත්‍ය මණ්ඩලයට ද අතිෂය කාර්ය බහුල සමයක් විය. විවිධ හමුවීම් සහ ප්‍රගති සමාලෝචන අතර ගෙවී ගිය වර්ෂයේ අවසාන දින කිහිපය තුළ ජනපතිවරයා මෙරට බිහි වූ විශිෂ්ඨතම කලාකරුවන් දෙදෙනකුට අවසන් ගෞරව දැක්වීමට සහභාගී වූ අතර ශ්‍රී ලංකා රේගුවේ සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළ සංචාරය ද සුවිශේෂ විය. මේ අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින් ද ජයතිස්ස සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ද සතියේ උණුසුම් පුවත් මැව්වේය.

අභාවප්‍රාප්ත ප්‍රවීන රංගධර කලාශූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනපති අනුර පසුගිය 25 වැනිදා පෙරවරුවේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ දේහය තැන්පත් කර ඇති කැලණියේ පිහිටි ඔහුගේ නිවස වෙත ගියේය. ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය. ජනපති අනුර සමඟ මෙම ගමනට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියේය.

නව වසරේ, නව සැලසුම් සමඟ රට ආර්ථික ජයග්‍රහණය කරා ගෙන යමු

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව 2025 වසරේදී ළඟා කරගත් ප්‍රගතිය සහ 2026 වසරේ නව සැලසුම් පිළිබඳ සොයා බැලීමට පසුගිය 30 වැනිදා පෙරවරුවේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වෙත ගිය ජනාධිපතිවරයා එහි අධ්‍යක්ෂවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡාවක නිරත වුණේය.

රටට අවශ්‍ය රුපියල් ප්‍රමාණය උපයා දෙමින් රටේ ආර්ථික සහ සමාජ ස්ථාවරත්වය නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ඉටු කළ කාර්යභාරය මෙහිදී අගය කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සමස්ත කාර්ය මණ්ඩලයට ස්තූතිය පළ කළේය.

එමෙන්ම රටට ආදායම් උපයා දෙන ප්‍රධාන ආයතනයක් වන ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු  කාර්යක්ෂමව සහ විනිවිදභාවයෙන් යුතුව ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපති අනුර නව සැලසුම් ඔස්සේ එක්ව කටයුතු කරමින් 2026 වසරේදී රට ආර්ථික වශයෙන් ජයග්‍රහණය කරවීමට කැපවෙමු’යි සියලුදෙනාට ආරාධනා කළේය.

2022 වසරේදී  සිදු වූ  ආර්ථිකමය බිඳ වැටීමට ආණ්ඩුවට අවශ්‍ය රුපියල් ප්‍රමාණය නොලැබී යාම සහ රටට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය නොමැති වීම හේතු වූ බව මෙහි දී පැවසූ ජනාධිපතිවරයා, අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරා ගනිමින් රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් නිර්මාණය කිරීමට මේ වන විට රජයට  හැකි වී තිබෙන බවත් පසුගිය ආපදා තත්ත්වට මුහුණ දීමේදීද එය ශක්තියක් වූ බවත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ 2025 වසරේ කාර්යසාධනය සහ ප්‍රගතිය, 2026 වසරට අදාළ නව සැලසුම් පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, ඒ පිළිබඳ නව අදහස් සහ යෝජනා ද  ඉදිරිපත් කෙරිණි.

ආදයම් එකතු කිරීම, වෙළෙඳාම පහසු කිරීම, සමාජ ආරක්ෂණය සහ ආයතනික සංවර්ධනය යන අංශ 04 යටතේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වන අතර, එම එක් එක් අංශයන්හි ප්‍රගතිය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා කරුණු විමසුවේය.

රේගු කටයුතුවලදී බොහෝ අවස්ථාවන්හි එල්ලවන චෝදනා වන තදබදය සහ ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳවද ජනාධිපතිවරයා කරුණු විමසූ අතර, භාණ්ඩ පරීක්ෂා කිරීමේ පද්ධතිය නවීකරණය සඳහා වු වැඩපිළිවෙළ පිළිබඳව ද සාකච්ඡා කළේය.

ශ්‍රී ලංකා රේගුව ඩිජිටල්කරණය වෙනුවෙන් 2026 වසරේ ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරුණු අතර, කාර්ය මණ්ඩලයේ බඳවා ගැනීම්, උසස් වීම්, පුහුණු වීම සහ වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු ද සාකච්ඡා කළේය.

රට තුළ අස්ථාවත්වරයක් නිර්මාණය කිරීමේ උපක්‍රම සහ සැලසුම් දිගින් දිගටම ක්‍රියාත්මක වන බැවින් එවැනි අවස්ථා නිර්මාණය කිරිමට ඇති ඉඩ  ඇහිරීමේ දී ගුවන් තොටුපොළ ආශ්‍රිත සේවා ඉතා වැදගත් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඉදිරි අභියෝගයන්ට මුහුණ දිය හැකි අන්දමින් සහ රාජ්‍යයේ පැවැත්ම පිළිබඳ ඇති වගකීම හඳුනා ගනිමින් එහි කටයුතු පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ද අවධාරණය කළේය.

එක්ව වැඩ කරමු – රට වෙනස් කළ හැකියි

වසර 93ක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉතිහාසය තුළ එම දෙපාර්තමේන්තුවට ජනාධිපතිවරයකු පැමිණි පළමු අවස්ථාව සනිටුහන් කරමින් පසුගිය 30 වැනිදා පෙරවරුවේ එම දෙපාර්තමේන්තුව වෙත ගිය ජනාධිපතිවරයා 2025 වසරේදී ළඟා කරගත් ප්‍රගතිය සහ 2026 වසරේ නව සැලසුම් පිළිබඳ සොයා බලමින් කාර්ය මණ්ඩලය සමග හමුවකට ද සහභාගී වුණේය.

රජය අපේක්ෂා කළ ආදායම අභිබවා ඉහළ ආදායමක් ලබා දීම පිළිබඳව මෙහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සියලු කාර්ය මණ්ඩල වෙත ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා ඉදිරියට ද සියලු දෙනා එකම අරමුණක් ඔස්සේ කටයුතු කරමින් රටට අවශ්‍ය ආර්ථික පරිවර්තනය සාක්ෂාත් කර ගැනීමට කැපවෙමු’යි සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.

බදු නොගෙවා සිටීමේ වරප්‍රසාදයක් කිසිවෙකුට හිමි නොවන අතර, පුද්ගල, ඥාති සහ දේශපාලන සබඳතා මත බදු සංස්කෘතිය ක්‍රියාත්මක වූ යුගය අවසන්ව ඇති බවත් සඳහන් කළ ජනාධිපතිවරයා  බදු පැහැර හැරීම් සිදු කරන අයට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව ද අවධාරණය කළේය.

බදු අය කර ගැනීම මර්දනයක් හෝ බලහත්කාරයක් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය රාජ්‍යයක හිමිකම බවත්, එම දායකත්වය ලබා ගැනීම වෙනුවෙන් නීති, අණපනත් සහ තනතුරු නාමවල මෙන්ම කාර්ය මණ්ඩලවල ද කළ යුතු වෙනස්කම් සිදු කරන බවත් සඳහන් කළේය.

මෙම සියලු ආර්ථික ජයග්‍රහණවල ප්‍රතිලාභ රටේ ජනතාවට ගලා යාමට සැලැස්වීම රජයේ අරමුණ බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජන ජීවිතය ඉහළ නැංවීම වෙනුවෙන් අවශ්‍ය සේවා කාර්යක්ෂම කිරීමට රජය අවධානය යොමු කර තිබෙන බවත් ප්‍රවාහන පද්ධතියේ නව පරිවර්තනයක් සහ අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන නොඅඩුව ලබා දීමට රජය කටයුතු කරන බව ද ජනපතිවරයා මෙහිදී සඳහන් කළේය.

බදු සාක්ෂරතාව ඉහළ නැංවිම, බදු ක්‍රමයේ සරලභාවය සහ කාර්ය මණ්ඩල හිඟය පියවීම වැනි ගැටලු විසඳා ගනිමින් ආණ්ඩුවට හිමි විය යුතු බදු මුදල් නිසි ලෙස ලබා ගැනීමට ඉලක්ක සහගත වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ලැබූ මෙම සාර්ථකත්වයට දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වෘත්තීය නිපුණතාව සහ කැපවීම හේතු වූ බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය මෙහි දී ජනපතිවරයාට පෙන්වා දුන්නාය.

2026 වසර සඳහා රුපියල් බිලියන 2401ක ආදායම් ඉලක්කයක්  ලබා දී ඇති බවත් බදු අනුකූලතාව ඉහළ නැංවීම සහ බදු පදනම පුළුල් කිරීම ආදී වැඩපිළිවෙළ මගින් එම ඉලක්කය සපුරා ගැනීමට අපේක්‍ෂා කරන බවත් ඇය ජනපතිවරයට කීවාය.

එසේම 2026 වසරේදී තෙවන පාර්ශ්වීය දත්ත හුවමාරුව පුළුල් කිරීම, දෙස්-විදෙස් වත්කම් පිළිබඳවද පුළුල් ලෙස සොයා බැලීම, රැමිස් පද්ධතිය දෙපාර්තමේන්තුවට භාර ගැනීම, අවදානම් පාදක විගණනය ශක්තිමත් කිරීම, e ඉන්වොයිසිය හඳුන්වා දීම, බදු කටයුතු සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීම සහ බදු සදාචාරය ඉහළ නැංවීම වැනි කාර්යයන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද ජනපතිවරයා හමුවේ සඳහන් කළාය.

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී කලාසූරි ලතා වල්පොල මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනපති අනුර පසුගිය 30 වැනිදා ඇයගේ දේහය තැන්පත් කර තිබූ බොරැල්ල ජයරත්න ‘රෙස්පෙක්ට්’ මල් ශාලාව වෙත ගියේය. දේහයට අවසන් ගෞරව දැක්වූ ජනපති අනුර පවුලේ ඥාතීන් සහ සහෝදර කලාකරුවන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

 

අපි මේ කාරණය සැහැල්ලුවෙන් සලකන්න සූදානම් නැහැ

මේ වන විට ආණ්ඩුව සහ ජනමාධ්‍ය අතර අර්බුදයක්, ආතතියක් නිර්මාණය කිරීමට විපක්ෂයේ දේශපාලනඥයින් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කල්ලියක් කටයුතු කරමින් සිටින බවක් දැකගත හැකිය. විශේෂයෙන් දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජන ජීවිතය සහ ආර්ථිකය යළි ස්ථාවර කිරීමට ආණ්ඩුව ප්‍රමුඛ අවධානය යොමු කරමින් සිටිය දී ජනමාධ්‍ය සම්බන්ධයෙන් නිර්මාණය වී ඇති මේ අනපේක්ෂිත තත්ත්වය නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස පසුගිය සතියේ දැඩි වෙහෙසක් ගත්තේය.

ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද රූපවාහිනී විකාශන බලපත්‍ර කොන්දේසි සහිත බවත්, නියමිත අවශ්‍යතා පිළිපැදීමට අපොහොසත් වුවහොත් ඒවා අවලංගු කළ හැකි පසුගිය 29 වැනිදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති උත්සවයකදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස අවධාරණය කළේය.

මේ වන විට සමාජය තුළ දැඩි සංවාදයට ලක්ව ඇති පෞද්ගලික රූපවානිහී නාළිකාවක් තහනම් කිරීමට අදාළ කරුණ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය,  “මේක සෙල්ලමක් නෙවෙයි. ඔබ මේ ක්ෂේත්‍රයේ වැඩ කරන විට, ඔබ මහජන විශ්වාසය, ජාතික සංඛ්‍යාත සහ අතිමහත් වගකීමක් සමඟ කටයුතු කරනවා. ප්‍රවෘත්ති වාර්තාකරණය නොසැලකිලිමත් හෝ මහජනතාවට හානිකර විය නොහැකියි. අපි මේ කාරණය සැහැල්ලුවෙන් සලකන්න සූදානම් නැහැ. තමන් වාර්තා කරන ප්‍රවෘත්තිවල නිරවද්‍යතාවය සහතික කිරීම සියලුම මාධ්‍යවේදීන්ගේ වගකීමක්” ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස වැඩිදුරටත් අවධාරණය කළේය.

“අද රූපවාහිනිය බොහෝ පුළුල් පරාසයක් ආවරණය කරනවා. බොහෝ විට සිදුවන්නේ පුවත්පත් සිරස්තල සහ ලිපි රූපවාහිනී ප්‍රවෘත්ති කොටස් හරහා නරඹන්නන්ට කියවීම යි. මුලදී, මෙම පුරුද්ද හුදෙක් සිරස්තල ඉදිරිපත් කිරීමට සීමා වුණා. කෙසේ වෙතත්, දැන් අපට පෙනෙන්නේ සමහර ඉදිරිපත් කරන්නන් මෙම ප්‍රවෘත්ති අයිතමවලට තමන්ගේම පෞද්ගලික අදහස් සහ අර්ථකථන එකතු කිරීමට පටන් ගෙන ඇති බවයි. එවැනි හැසිරීම් ප්‍රේක්ෂකයින් බරපතළ ලෙස නොමඟ යැවිය හැකියි. විශේෂයෙන් මහජන සෞඛ්‍යය වැනි සංවේදී කාරණා සම්බන්ධයෙන් මහජන අවබෝධය අඩපණ කළ හැකියි”.

මාධ්‍ය වෘත්තිකයන් විශේෂයෙන් සෞඛ්‍යය, ජාතික ආර්ථිකය සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණාත්මක දත්ත, සංඛ්‍යාලේඛන සහ සත්‍ය තොරතුරු නිතර හසුරුවන බවත්, එබැවින් ඔවුන් අතිශයින්ම ප්‍රවේශම් විය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා යළි අවධාරණය කළේය.

“වැරදි සංඛ්‍යා, සංඛ්‍යා හෝ නොමඟ යවන සුළු අදහස් ඉදිරිපත් කළ විට, ප්‍රතිවිපාක දරුණු විය හැකියි. මහජන සෞඛ්‍යයට හානි කරන ආකාරයෙන් ප්‍රවෘත්ති විකාශනය කරන්නේ නම්, අදාළ බලපත්‍රය අවලංගු කිරීමට අමාත්‍යවරයාට බලය තිබෙනවා. ඊට පෙර නිවැරදි කිරීම් ඉල්ලා සිටින විධිමත් නිවේදන අපි නිකුත් කරනවා, ඔවුන් එම නිවේදනවලට අනුකූල වීම අනිවාර්යයි” ඇමති නලින්ද ජයතිස්ස වැඩි දුරටත් සඳහන් කළේය.

ව්‍යවස්ථා දායක සභාව ව්‍යවස්ථාවට අනුව කටයුතු කළ යුතුයි – ජනමාධ්‍ය ඇමැති

මේ අතර විගණකාධිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් උද්ගතව ඇති අර්බුදය සම්බන්ධයෙන් ද පසුගිය 30 වැනිදා පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ජනමාධ්‍ය අමාත්‍යවරයා රජයේ ස්ථාවරය පැහැදිලි කළේය.

විගණකාධිපතිවරයා පත් කිරීමේදී ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට අනුව කටයුතු කර ඇති හෙයින් ව්‍යවස්ථා දායක සභාව ද තමන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා දී ඇති බලතල අනුව කටයුතු කළ යුතු බව නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

ආණ්ඩ්‍රුම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පවරා ඇති බලතල අනුව විගණකාධිපතිවරයෙකු පත් කිරීමේ සුදුසුකම් සහිත පුද්ගලයින් අවස්ථා 4කදී ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට යොමුකර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය,  “කාටවත් මේක අභියෝගයට ලක් කරන්න බැහැ. ජනාධිපතිවරයාට හිමි බලතල අනුව සුදුසුකම් ලැබිය හැකි අය තමයි ජනාධිපතිවරයා මේ නම් කරලා යවලා තියෙන්නේ. මේ සියලු  දෙනාම චාටඩ් එකවුන්ටන්ලා. ස්ථීර විගණකාධිපතිවරයෙක් සඳහා නාමයෝජනා දෙකක් ජනාධිපතිවරයා අවස්ථා දෙකකදී ඉදිරිපත් කළා. මේ සියලුද දෙනාම සුදුසුකම් සහිත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ඉල්ලා සිටින නිර්ණායකවලට සුදුසු පුද්ගලයින්. ඒ වගේම තවත් නම් දෙකක් ඉදිරිපත් කළා, ඔවුන් විගණන දෙපාර්තමේන්තුවේ දැනට ඉන්න ජ්‍යේෂ්ඨතම විගණන නිලධාරීන්. මෙලෙස නම් ඉදිරිපත් කරලා තිබියදීත් ව්‍යවස්ථාදායක සභාව ඒ අනුව කටයුතු නොකරනවා නම් ඉන් පෙන්නුම් කරන්නේ මේ රාජ්‍ය යාන්ත්‍රණය හෝ රාජ්‍ය යාන්ත්‍රණ ක්‍රියාවලිය කඩාකප්පල් කරන්න ඔවුන්  හිතාමතාම කටයුතු කරනවා කියන එක.”

“ජනාධිපතිවරයා ව්‍යවසා දායක සභාවට එවන නම් ව්‍යවස්ථාවේ ආකාරයට සුදුසු නම්, ඒ ඕනම කෙනෙක් විගණකාධිපති ධුරයට ගැළපෙනවා නම්, ඊට වඩා සුදුසු කෙනෙක් එළියේ ඉන්නවා යැයි පවසා ඒ නම් ප්‍රතික්ෂේප කරන්න ව්‍යවස්ථාදායක සභාවට අයිතියක් නැහැ. ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව පැවරී ඇති බලයක් තිබෙනවා. ඒ අනුව තමයි ජනාධිපතිවරයා මෙතෙක් වැඩ කළේ. ඒ අනුව ඉදිරියටත් වැඩකටයුතු කරයි. ව්‍යවස්ථාදායක සභාවට අපි කියන්නේ ඔබට ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව කටයුතු කරන්න. රට ඉදිරියට ගෙනයෑම ගැන සිතා කටයුතු කරන්න. ඔබගේ පටු සීමාවන් ඇතුළේ කටයුතු කිරීම සුදුසු නැහැ”.ජනමාධ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.

සංවිධානාත්මක අපරාධ මර්ධනයට සූදානම් – මහජන ආරක්ෂක ඇමැති

සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම අරමුණු කරගත් පනත් කෙටුම්පතක් ලබන මාසය (2026 ජනවාරි) ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේය.

මෙම නීති සම්පාදනය හරහා සංවිධානාත්මක අපරාධ සඳහා දැඩි දඬුවම් සහ දීර්ඝ සිර දඬුවම් හඳුන්වා දීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අනෙකුත් සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ අපරාධකරුවන් දැනට රඳවා ගෙන සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත යටතේ බවත්, එමඟින් ප්‍රශ්න කිරීම සඳහා දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමට ඉඩ සැලසෙන බවත් ඔහු පැවසීය. නව පනත් කෙටුම්පත මගින් එවැනි සැකකරුවන් දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමට අවසර දීම සඳහා නිශ්චිත නීතිමය විධිවිධාන සපයන අතර, වෙනත් අරමුණු සඳහා පනවන ලද නීති මත රඳා නොසිට, සංවිධානාත්මක අපරාධ ඉලක්ක කරගත් බලාත්මක කිරීමේ යාන්ත්‍රණයන් ශක්තිමත් කරනු ඇති බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ මෑත මාසවලදී සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම්වල තියුණු වැඩිවීමක් දක්නට ලැබෙන අතර, විශේෂයෙන් නීති විරෝධී මත්ද්‍රව්‍ය වෙළඳාමට සම්බන්ධ සංවිධානාත්මක අපරාධවල තියුණු වැඩිවීමක් වාර්තා වේ. බස්නාහිර සහ දකුණු පළාත් ඇතුළුව රටේ ප්‍රදේශ කිහිපයක ඉලක්කගත වෙඩි තැබීම්, කොන්ත්‍රාත් ඝාතන සහ කල්ලි ආශ්‍රිත ප්‍රචණ්ඩත්වයේ වැඩිවීමක් පොලිසිය වාර්තා කර ඇති අතර මෙම අපරාධ බොහොමයක් මත්ද්‍රව්‍ය ජාල තුළ ඇති ආරවුල් සහ ජාවාරම් මාර්ග සහ බෙදාහැරීමේ මධ්‍යස්ථාන පාලනය කිරීමට ගන්නා උත්සාහයන් සමඟ සම්බන්ධ වී ඇති බව විශ්වාස කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

විගණකාධිපති ධුරයට යළිත් ජනපතිගෙන් නමක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් කලින් නම් කරන ලද කිහිප දෙනෙකු ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරි දිනවලදී විගණකාධිපති තනතුර සඳහා නව නාමයෝජනා පත්‍රයක් ඉදිරිපත් කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කිරීම බොහෝ දෙනකුගේ අවධානය දිනා ගත්තේය.

මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත කරුණු පැහැදිලි කළ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආනන්ද විජේපාල පැවසුවේ පුරප්පාඩුව පිරවීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා දැන සිටි බවත් තවත් සුදුසු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවයි.

“රටට නීතිපතිවරයෙකු අවශ්‍යයි. පෙර නාම යෝජනා ව්‍යවස්ථා දායක සභාව විසින් ප්‍රතික්ෂේප කළා. ඉදිරි දිනවලදී ජනාධිපතිවරයා නව නාම යෝජනා ඉදිරිපත් කරනවා” ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීයා වැඩි දුරටත් පැවසුවේය

ආණ්ඩුව පනත් 26ක් සම්මත කරලා

ජාතික ජන බලවේගය රජය පසුගිය 2025 වර්ෂයේ දී පනත් 26ක් සම්මත කළ බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය දැනුම් දුන්නේය. ඒ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත, දේශීය ආදායම් (සංශෝධන) පනත, එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත, අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත, විදේශීය ණය (ඉවත් කිරීමේ) පනත, අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත, ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත, සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත, සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන), සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන), සමාගම් (සංශෝධන), විනිමය පත්‍ර (සංශෝධන), ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන), සමෘද්ධි (සංශෝධන), රබර් පාලන (සංශෝධන), සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය, ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ), ජාතික විගණන (සංශෝධන), ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන), පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන), සමාජ ආරක්‍ෂණ දායකත්ව බදු (සංශෝධන), ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන), ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධන) යන පනත් වේ.

සටහන – භාතිය බරුකන්ද

රතුඉර පුවත්පතේ 2026 ජනවාරි 04 වැනි දා කලාපයේ ප්‍රකාශයට පත් කරන ලද ලිපියකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website