එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ
දේශගුණික විපර්යාසයන්හි උත්සන්නවීමේ පීඩාකාරී ස්වභාවය අන්කවරදාකටවත් වඩා ලෝකයේ සෑම රටක්ම දැන් අත්විඳිමින් සිටියි. එමගින් ඇතිකරන ස්වාභාවික ක්‍රියාවලී සහ ඉන්බැහැරවූ මානව ක්‍රියාකාරකම් නිසා සිදුවන පාංශු ඛාදනය සහ පාංශු හායනය ඔස්සේ පසේ සාරවත් බව පිරිහීයාම සමග පාරිසරික සෞඛ්‍යය ද ඉතා සීඝ්‍රයෙන් අයහපත් තත්වයක් කරා ගමන් කරන බව ඉතා පැහැදිලි වේ.
එවැනි තත්වයන් හමුවේ ගොවිතැන් කළහැකි ප්‍රදේශ මෙන්ම භූමි ප්‍රමාණය ද සීමාකෙරේ. එහෙයින් කෘෂි බෝග හා සත්ව නිෂ්පාදනය කටයුතු ප්‍රමාණාත්මකව පහත යාම වළකාගත නොහැකි වේ. එමෙන්ම කෘෂිකර්මාන්තයේ නිරත පිරිස වයස්ගතවීම හා තරුණ ශ්‍රම ඒකක ලබාගැනීමේ හැකියාව අඩුවීම මෙම ගැටළු තවදුරටත් තීව්‍ර කිරීමට දායකවෙයි. ඉන් බැහැරව, ආනයන අපනයන රෙගුලාසි පිළිබඳ වූ ගැටළුකාරී ස්වරූපය හේතු කොටගෙන ගෝලීය ආහාර සැපයුම නිරතුරුවම තර්ජනයකට ලක්වෙමින් පවතියි. ඒ හේතුවෙන් මේ වනවිටත්, ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස සෑම රටකම, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සෑම අංශයක්ම ගැටළු රැසකට මුහුණපා තිබේ.
විවිධ ජාත්‍යන්තර සහ ජාතික සංවිධාන තුළ කාලගුණ විද්‍යාඥයින්, පරිසර විද්‍යාඥයින් සහ කෘෂි විද්‍යාඥයින් වැනි වෘත්තිකයන් මෙම ගැටළු නිරාකරණය කරගැනීම උදෙසා සටන් කරන ආකාරය අපට අසන්නට හා දකින්නට ලැබේ. මේ අතර ගොවීන් මුහුණපාන මෙකී අභියෝගාත්මක ගැටළු සමනය කරගැනීම අරභයා දැනටමත් කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ නිෂ්පාදකයින් සමග පරිගණක වැඩසටහන් නිර්මාපකයින් පෙරමුණට පැමිණ සිටියි. කෘත්‍රිම බුද්ධිය Artificial Intelligence, රොබෝ තාක්ෂණය Robotics සහ දත්ත මත පදනම් වූ නිරවද්‍ය තාක්ෂණයෙන් Data-Driven Precision Technologies ඒකාබද්ධකර ගැනෙන නව පරම්පරාවේ යන්ත්‍රෝපකරණ නිෂ්පාදනයකර හඳුන්වාදීම කෙරෙහි ඔවුන්ගේ දිශානතිය යොමුවී ඇත්තේ එබැවිනි.
ඒ අනුව, දැනට ලබා ගන්නා සාමාන්‍ය බෝග අස්වැන්න 15% – 20% කින් ඉහළ නැංවීමටත්, පවතින යෙදවුම් පිරිවැය 25% දක්වා අඩු කිරීමටත් ඉන් හැකියාව උදාකර ගතහැකි බව පැවසේ. ඒ ඔස්සේ ගොවිතැන් කටයුතු වඩාත් ඵලදායී හා අපේක්ෂා කරන නිෂ්පාදන ඉලක්ක වෙත සමීපකරවීමට මෙම තාක්ෂණික නවෝත්පාදනයන්ගේ අභිසාරීවීම ඉවහල්වනු ඇතැයි අපේක්ෂා කළහැකි වේ.
මෙම නව සන්දර්භය තුළ කෘෂිකාර්මික භාවිතයන්හි යාන්ත්‍රික විද්‍යාව සහ පරිගණක තාක්ෂණය ඒකාබද්ධ කරගත් ස්වයංක්‍රීයකරණ Automation ක්‍රියාපිළිවෙත් හඳුන්වාදීමට කෘෂි යන්ත්‍රෝපකරණ නිෂ්පාදකයින් අපේක්ෂා කරයි. ඒ ඔස්සේ, අන්තර්ජාල මත පදනම් වූ දේවල් Internet of Things සමග අවම මිනිස් ක්‍රියාකාරිත්වයක් යටතේ ක්‍රියාකරන ස්වයං ධාවන විදුලි ට්‍රැක්ටර්, කෘත්‍රිම බුද්ධිය ඇසුරු කරගත් රොබෝ යන්ත්‍ර, හා විවිධ සංවේදක Sensors ඇසුරු කරගත් ස්වයංක්‍රීය ජලසම්පාදන පද්ධති, කෘෂිකාර්මික ඩ්‍රෝන යානා සහ සූර්ය බලශක්ති භාවිත කෘෂි යන්ත්‍රෝපකරණ වැනි නවෝත්පාදන වගා කටයුතු වෙනුවෙන් සහාය කරගැනීමට හඳුන්වාදීම උදෙසා එකී නිෂ්පාදකයින් දැනටමත් කටයුතු කරමින් සිටියි.
මෙහිදී තවත් කැපී පෙනෙන ප්‍රවණතා කිහිපයක් දැකගත හැකි වේ. එනම්, බිම් සැකසීමේ සිට අස්වනු අලෙවි කිරීම දක්වා වූ සෑම ක්‍රියාකාරකමක් ම හැසිරවීමට අදාළවූ තත් කාලීන තොරතුරු Real-Time Data නිරීක්ෂණය කිරීමට මෙන්ම අධ්‍යයනය කිරීමට ඉඩ සලසන කෘෂිකාර්මික මෘදුකාංග යෙදවුම් Agricultural Software Applications සහ සුහුරු උපාංග Smart Equipment බිහිවෙමින් පැවතීමයි. මෙම මෙවලම් ගොවීන්හට තම වගා පරිසරය, ගොවිතැන හා වෙළෙඳපොළ හැසිරීම් පිළිබඳ දැනුම්වත්වී තීරණ ගැනීමට මහෝපකාරී වේ.
විශේෂයෙන්ම, නව පරපුරේ කෘෂි යන්ත්‍රෝපකරණ, උසස් සංවේදකවලින් සමන්විත වන අතර වගා ක්ෂේත්‍රයේ සැරිසැරීමට හා ක්‍රියාත්මකවීමට, කැමරා සහ කෘත්‍රිම බුද්ධිය සමග ක්ෂේත්‍රයේ තත් කාලීන දත්ත ඊට උපයෝගීකර ගැනේ. ඒ අනුව ස්වයංක්‍රීය සංවේදක ස්ථාපිත ක්ෂේත්‍ර වෙතින් බෝග ආශ්‍රිත දත්ත රැස්කිරීමේ සිට ඒවා විශ්ලේෂණය කිරීම සහ ක්ෂේත්‍රයේ තත් කාලීන ස්වරූපය වඩාත් නිවැරදිව තක්සේරු කිරීම, අර්ථ නිරූපණය කිරීම සමග අවශ්‍ය තීරණ ගැනීම දක්වා වූ කටයුතු ඉටුකර ගැනීමට දැන් අවස්ථාව සැලසී තිබේ. එහෙයින් ගොවිපොළවල මිනිස් ශ්‍රමය පූර්ණ හෝ අර්ධ වශයෙන් බැහැර කිරීම තුළින් කෘෂිකර්මාන්ත අංශයේ බොහෝ කටයුතු ස්වයංක්‍රීයකරණයට නතු කළහැකි වේ.
ඒ අනුව, දැනටමත් කෘෂිකාර්මික රොබෝවන් Agribots ඉන්දියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව, චීනය, දකුණු කොරියාව, ජපානය හා දකුණු අප්‍රිකාව තුළ කෘෂිකාර්මික කටයුතු ඉටුකර ගැනීම උදෙසා ගොවිපොළ තුළ ආදේශකරගන්නා ආකාරය විද්‍යාමාන වේ. ප්‍රමාණයෙන් කුඩා මෙම රොබෝ යන්ත්‍රවලට පාංශු ස්වරූපය හඳුනා ගැනීමට, බෝග වර්ග සහ පාරිසරික සාධකවල විෂමතාවන්ට ගතිකව හැඩගැසීමට මෙන්ම ස්වාධීනව තීරණ ගැනීමට ද හැකියාව ලබා දී තිබේ. එමෙන්ම, රොබෝ යන්ත්‍රවලට අදාළව සවිකර ඇති කැමරා හා සංවේදක සහ රෝද ආධාරයෙන් බෝගය සංස්ථාපනයකර ඇති ස්ථානය වෙත සමීපවී අවශ්‍ය දත්ත රැස්කිරීමට ද හැකියාව ඇත. එසේ රැස්කර ගන්නා තොරතුරු මත මෙම රෝබෝවරුන්ට වල් පැලෑටි සහ බෝග අතර වෙනස හඳුනාගැනීමේ හැකියාව ලබාදී තිබේ. ඒ අනුව සපයා ඇති පූර්ව උපදෙස් මත වල් නාශකවල ක්ෂුද්‍ර මාත්‍රාවන් ඉලක්කගතව යෙදීමට හෝ යාන්ත්‍රිකව එම වල් පැලෑටි ඉවත් කිරීමට ද රොබෝ යන්ත්‍ර උපයෝගීකරගත හැකි වේ. ඒ අනුව රසායනික ද්‍රව්‍ය භාවිතය මත සිදුවන පාරිසරික බලපෑම බෙහෙවින් අඩු කරගැනීමට ද මෙම රෝබෝ යන්ත්‍ර ඉවහල් වේ. විශේෂයෙන්ම, හරිතාගාර හා පොලිටනල් තුළ වගාකරන බෙල්පෙපර්, පිපිඤ්ඤා, තක්කාලි, සහ ස්ට්‍රෝබෙරි ඇතුළු පලතුරු සහ එළවළු අස්වනු නෙළීමේ කටයුතු සඳහා කෘෂිකාර්මික රොබෝවරු උපයෝගීකර ගැනීම ද දැන් දැකගත හැකි වේ.
එමෙන් ම, තනි උපකරණ පුවරුවකින් හෝ ජංගම දුරකථන යෙදවුමක් ඇසුරෙන් වලාකුළු මත පදනම් වූ දත්ත වේදිකා Cloud-Based Data Platforms ඇසුරුකර ගනිමින්, ගොවීන්හට බිංදු හා විසුරුම් ජලසම්පාදන පද්ධති පාලනය කිරීමට, පෝෂක මට්ටම් නිරීක්ෂණය කිරීමට සහ කළමනාකරණය කිරීමේ හැකියාව තිබේ. දැනටමත් මෙරට ගොවීන් බොහෝ දෙනෙකු මෙකී පහසුකම අත්දැක ඇතුවාට සැක නැත.
විශේෂයෙන්ම කෘෂිකාර්මික ඩ්‍රෝන යානා ඇසුරුකරගෙන ජලසම්පාදන පද්ධති සැලසුම් කිරීමට, ඉඩම් මට්ටම් කිරීමට අදාළ තොරතුරු දැනගැනීමට, බෝගයක උස සහ වගා ඝනත්වය විශ්ලේෂණය කිරීමට, වර්ධන අවධීන් පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට, අස්වැන්න වඩාත් නිවැරදිව තක්සේරු කිරීමට හා අස්වනු නෙළීම සඳහා උචිත අවස්ථාව නිර්ණය කිරීමට පහසුකම් සැලසී තිබේ. මෙම කාර්යයන් උදෙසා අවැසි ක්ෂේත්‍රවල නිරවද්‍ය ත්‍රිමාණ සිතියම් නිර්මාණය කිරීම සඳහා එම ඩ්‍රෝන යානා සතු LiDAR (Light Detection and Ranging) කැමරා විසින් ලබා ගන්නා දර්ශන උපයෝගීකර ගැනේ. එසේ ලබාගන්නා ඡායාරූප, භාවිත පරිගණක යෙදවුම් ආධාරයෙන් විශ්ලේෂණය කිරීම මගින් බෝගයක පවතින රෝග ලක්ෂණ, ජල ආතතිය, ක්ෂේත්‍රයේ පසේ තෙතමනය, සහ පෝෂක ඌනතාවයන් තත්කාලීන ස්වරූපයන් හඳුනාගැනීමට හා අවබෝධකර ගැනීමට ද හැකියාව පවතියි. එමෙන්ම පශු සම්පත් නිරීක්ෂණය ඔස්සේ සත්වයෙකුගේ රෝග ලක්ෂණ හා සත්ව කොට්ඨාශයක හැසිරීම හඳුනාගැනීමට හා අවබෝධකර ගැනීමට ද කෘෂිකාර්මික ඩ්‍රෝන යානා සහායකරගත හැකි වේ. මේවා හුදු විනෝදාස්වාදය හෝ ප්‍රවෘත්ති වර්ථාකරන ඩ්‍රෝනයානා වෙතින් බැහැර වූ වෙනස් මුහුණුවරක් උසුලනු ලැබේ.
එලෙසම, විවිධ එළවළු සහ පලතුරු බෝග ක්ෂේත්‍රයන්හි පටු පේළි අතර මෙහෙයුම් සිදුකිරීමට විදුලි බලයෙන් ක්‍රියාකරවිය හැකි ප්‍රමාණයෙන් කුඩා හා සැහැල්ලු ට්‍රැක්ටර් මෝස්තර පහසුවෙන් භාවිතකළ හැකි වේ. මීට අමතරව, මෙම යන්ත්‍රයන්හි කෙටි හැරවුම් අරය උද්‍යාන බෝග වගා කරන කුඩා ගොවිපොළ තුළ වඩා හොඳින් උපාමාරු Maneuverability කිරීමේ පහසුව උදාකර දෙයි. එමෙන්ම කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් සහ උසස් සංවේදක මගින් බල ගැන්වෙන ට්‍රැක්ටර් මෝස්තර GPS තාක්ෂණය ඇසුරු කරගෙන අසමසම නිරවද්‍යතාවයකින් ක්ෂේත්‍ර ක්‍රියාකාරකම්වල යොදාගැනීමට ද හැකියාව තිබේ. මේ වෙනුවෙන් RTK (Real-Time Kinematic) පද්ධති වැනි තාක්ෂණයන් භාවිතයට ගැනෙන හෙයින් නිරවද්‍ය මග දැනගැනීමට ඒවාට ඉඩකඩ සැලසී ඇත. මෙම මාදිලියේ රියදුරු රහිතව ධාවනයවන ට්‍රැක්ටර් විසිහතර පැය පුරාම සේවයට යොදා ගතහැකිවීම ද විශේෂත්වයකි. එකී ක්‍රියාකාරකම් උදෙසා පාංශු තත්ත්වයන් සහ කාලගුණික ස්වරූපය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට විශාල දත්ත ප්‍රමාණයක් විශ්ලේෂණය කරන අතර ඩිජිටල් ගොවිපල කළමනාකරණ වේදිකා මගින් ඒවා සම්බන්ධීකරණය කර, ඒ ඇසුරෙන් සුහුරු උපාංග ඔස්සේ ගොවීන්හට දැනුම්වත්ව තීරණ ගැනීමට ද අවස්ථාව විවරකර දෙයි.
පරිසරය සුරැකීම නව යන්ත්‍රෝපකරණ නිෂ්පාදකයින්ගේ ව්‍යාපාර අරමුණු අතර ප්‍රමුඛත්වයෙහි ලා ගැනේ. එහෙයින් නිපදවන බහුතරයක් වූ මෙම යන්ත්‍රෝපකරණ හා මෙවලම් විදුලි බලයෙන් ක්‍රියාකරවන හෙයින් පොසිල ඉන්ධන භාවිතය බැහැර කිරීමට හැකියාව උදාකර දෙයි. මහත් ශබ්දය හා අපිරිසිදු වායු විමෝචනය තුළින් සිදුවන පරිසර දූෂණය එමගින් වළකාගත හැකිවේ. එමෙන්ම ඒවා සැහැල්ලු යන්ත්‍රෝපකරණ මෝස්තර වන හෙයින් පාංශු ස්ථරමත හා ව්‍යුහයන්මත සිදුවන අහිතකර බලපෑම් අවම කෙරෙනු ඇත.
විශේෂයෙන්ම, පුළුල් පරාසයක විසුරුණු, අන්තර්ජාලය මත පදනම්වු දේවල් Internet of Things සමගින් ඒකාබද්ධකර වගා ක්ෂේත්‍ර ආශ්‍රිතව ස්ථානගත කරන සංවේදක ඇසුරෙන් පාංශු තෙතමනය, පෝෂක මට්ටම, පරිසරයේ උෂ්ණත්වය, ආර්ද්‍රතාව හා ආලෝකයේ තීව්‍රතාව දැනගත හැකි වේ. එලෙස රැස්කරගන්නා තත්කාලීන දත්ත මෙන්ම ඉන් බැහැරව එක්රැස්කරන වෙළඳපල තොරතුරු කෘත්‍රිම බුද්ධි වේදිකා සමග ඒකාබද්ධකර, ගොවිපල කළමනාකරණ තොරතුරු පද්ධති Farm Management Information Systems ඇසුරෙන් බෝග වගාවේ සිට වෙළඳපොල වෙත අස්වනු යොමුකිරීම දක්වා වූ සියලු කටයුතු සැලසුම් කිරීමට අවස්ථාව සැලසී තිබේ. එසේම ප්‍රශස්ත තීරණ ගැනීම සඳහා අදාල පුරෝකථන විශ්ලේෂණ කිරීම තුළින් ගොවීන්හට පූර්ව අවබෝධයක් ලබාගැනීමට හැකියාව උදාකර තිබීම මෙම නව්‍ය තාක්ෂණයන් හා බැඳී ඇති තවත් සුවිශේෂී ලක්ෂණයකි.
එලෙසින්ම, වගා ක්ෂේත්‍රයේ, පරිසරයේ හෝ සැපයුම් හා අලෙවි ජාලයේ කිසියම් විෂමතාවක් සිදුවුවහොත් ගොවියාට පූර්ව දැනුම්දීම ඔස්සේ අනතුරු ඇඟවීම අරභයා ක්‍රමවේදයක් මෙවැනි පද්ධති ඇසුරෙන් සකස් කළ හැකි වේ. එමගින් ගොවියාට, කෘෂි නිෂ්පාදන රැස්කරන හා අලෙවිකරන ව්‍යාපාරිකයාට ද ස්වායත්ත වූ කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට ද අවස්ථාව සැලසේ.
කෙසේ වුවද ශ්‍රී ලාංකිකයින් ලෙස අප ඉදිරියේ ඇති විශාලතම අභියෝගය වන්නේ නව්‍ය කෘෂිකාර්මික තාක්‍ෂණය සමීපකර ගැනීමේ බාධාවයි. මෙහිදී අන්තර්ජාල මත පදනම්වු දේවල් ඇසුරෙන් ක්‍රියාත්මක වන කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ අති නවීන කෘෂි යන්ත්‍රෝපකරණ ගොවීන්හට පහසුවෙන් අත්පත්කර ගැනීමට ඉඩ සැලසීම, මූල්‍ය ක්ෂේත්‍රයේ ආයතනවල දැක්ම බවට පළමුව පත්කර ගත යුතු වේ.
එමෙන් ම, ජංගම යෙදවුම් සහ චන්ද්‍රිකා පාදක දත්ත සේවා උදෙසාවන ගාස්තු අවම මට්ටමකින් ක්‍රියාත්මක කිරීමට සන්නිවේදන සේවා සපයන ආයතන නියාමනය කිරීමට දැනට ඇති යාන්ත්‍රණය වඩාත් බලාත්මක කළහැකි දැක්මක් රට තුළ බිහිකර ගත යුතු ය. ඉන් බැහැරව, තාක්ෂණයෙන් ඉහළ ස්වයංක්‍රීය පද්ධති ක්‍රියාකරවීමට සහ නඩත්තු කිරීමට කුසලතා ඇති ශ්‍රමිකයන්ගේ අවශ්‍යතාව ද අප හමුවේ උද්ගතවන නව අභියෝගයක් වනු ඇත. එවැනි ඥාන සම්භාරයක් තරුණ ප්‍රජාව වෙත ප්‍රවේශ කිරීමට උචිත ලෙස අදාළ ශිල්පීය ඥානය තෘතියික හා වෘත්තිය අධ්‍යාපනික ආයතන ඔස්සේ බෙදාහදා දීමෙන් එම ගැටළුව සාර්ථකව විසඳාගත හැකි වේ.
එසේ වුවහොත් 2030 න් ඔබ්බට මෙරට තුළ කෘෂිකාර්මික භූ දර්ශනය, උසස් තාක්ෂණයෙන් හෙබි බුද්ධිමත් යන්ත්‍ර සමග පුරෝකථන විශ්ලේෂණ මත සම්පූර්ණයෙන්ම ඒකාබද්ධවන ක්‍රියාකාරකම් වෙතින් බල ගැන්වෙනු ඇතැයි අපේක්ෂා කළහැකි ය. ලෝකය පුරා මෙම තාක්ෂණික භාවිතය වඩාත් ඵලදායී, තිරසාර සහ ඔරොත්තු දෙන කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් පෙනී සිටිනු ඇත. විශේෂයෙන්ම ආසියාතික රටවල් බොහොමයක් එහි පෙරගමන්කරුවන් බවට පත්වන බව දැනටමත් සනාථවී තිබේ. අපේ කලාපයේ එවැනි රටවල් සමග අපි ඉදිරියට යායුතු නොවේද?. දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ අංශ තුළට ස්වයංක්‍රීයකරණ තාක්‍ෂණයන් වේගයෙන් ආදේශකර ගැනීමට අප උත්සුක විය යුත්තේ එවැනි පසුබිමක සිට ය. ඒ අනුව ඊට සරිලන ලෙස උගත් නැණවත් ගොවි ජනතාවක් බිහිකර ගතහැකි මාවතක් ගොඩනැගීමට වැර දරමු. සිදුවූ ජාතික ව්‍යසනය හමුවේ කෘෂි නිෂ්පාදන ආර්ථිකය ගැම්මකින් ඔසවා තැබීමට හැකි වේගවත් සංවර්ධනයක් අත්පත් කරගත හැකි වන්නේ මෙවන් වෙනසක් තුළින් පමණි.

















