විපතට පත් ජනතාවට සහන සැලසීමේදී මනා සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමෙන් එම ප්‍රතිලාභ ඵලදායී ලෙස ජනතාව අතට පත් කළ හැකියි – ජනපති
විපතට පත් ජනතාවට සහන සැලසීමේදී සියලු පාර්ශ්ව මනා සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමෙන් වඩා ප්‍රයෝජනවත් සහ ඵලදායී ලෙස එම ප්‍රතිලාභ ජනතාව අතට පත් කළ හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයෝ සමග හමුවකට ඊ (29) රාත්‍රියේ ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේදී එක් වෙමිනි.
මෙම අසීරු අවස්ථාවේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත්ව සිටින සියලුදෙනා වෙත මෙහිදී ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා ජාතික වැඩපිළිවෙළක් ඔස්සේ මනා සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කරමින් හෘද සාක්ෂියට අනුවම අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට කැපවෙමුයි සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය.
එමෙන්ම කිසිදු බේදයකින් තොරව විපතට පත් සියලු ජනතාව වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සලසමින් සහ ඔවුන්ගේ ජීවිතවලට වටිනාකමක් ලබා දෙමින් මුදා ගැනීමේ සහ සහන සේවා කටයුතු ක්‍රියාත්මක කර ඇති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රට තුළ ජාතික සමගිය සහ සංහිදියාව ඇති කිරීමේ වැඩපිළිවෙළ සඳහාද මෙම අසීරු අවස්ථාවේදී පූර්වාදර්ශයක් සපයා තිබෙන බව සඳහන් කළේය.
විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව රජය අඛණ්ඩව ක්‍රියාත්මක කර තිබෙන අතර අවතැන්වූවන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසීම, ජන ජීවිතය යළි ස්ථාපිත කිරීම සහ තෝරාගත් යටිතල පහසුකම් සංවර්ධනය සියලුදෙනාගේ සහාය ඇතිව ඉදිරියට ක්‍රියාත්මක කළයුතු බවත්, එහිදී සියලුදෙනා අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යමින් ජාතික වැඩපිළිවෙළක් ඔස්සේ එම කටයුතු ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.
විපතට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් තම සංවිධාන සහ ආයතන විසින් සැලසුම් කර ඇති වැඩසටහන් පිළිබඳ මෙහිදී පැමිණ සිටි නියෝජිතයෝ අදහස් ඉදිරිපත් කළ අතර තම දායකත්වය අගයමින් මෙම සාකච්ඡාවට ආරාධනා කිරීම පිළිබඳව ඔවුහු ජනාධිපතිවරයා වෙත ස්තූතිය පළ කළේය.
එමෙන්ම මෙවන් ජාතික අවස්ථාවලදී රාජ්‍ය නොවන සංවිධානවල මූල්‍ය සහාය පමණක් නොව ඔවුන් සතු අත්දැකීම් සහ නිපුණතාවයන් උපයෝගී කර ගැනීමේ හැකියාවද මෙහිදී ඔවුහු පෙන්වා දුන් අතර මෙය ආර්ථික වශයෙන් රටට අසීරු අවස්ථාවක් වුවද ශ්‍රී ලංකාව තුළ පවතින ආචාරධාර්මික පිබිදීම හේතුවෙන් මෙම අභියෝගයට ශක්තිමත්ව මුහුණ දිය හැකි බවට විශ්වාසය පළ කළහ.
එමෙන්ම වත්මන් රජය ගෙන යන වංචාවෙන් සහ දූෂණයෙන් තොර වැඩපිළිවෙළ හේතුවෙන් තමන්ට නොබියව රජය සමග එක්ව කටයුතු කිරීමට අවස්ථාව ලැබී තිබෙන බවද ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා යන මහත්වරු සහ ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුළු පිරිසක් සහ දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.











