
ආපදා සහන මෙහෙයුම් නාවික හමුදාව අඛණ්ඩව සිදු කරමින් සිටින අතර, අවශ්‍යතාවය මත ස්ථානගත කිරීම සඳහා අමතර ආපදා සහන කණ්ඩායම් සෑම නාවික විධානයකම සූදානමෙන් තබා ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා, ආපදා සහන කණ්ඩායම් දකුණ, නැගෙනහිර, වයඹ සහ උතුරු මැද පළාත් ආවරණය පරිදි 2025 නොවැම්බර් 22 දින සිට නාවික හමුදාව විසින් අනුයුක්ත කෙරුණු අතර, එම සහන කණ්ඩායම් ආපදා සහන මෙහෙයුම් අද දිනයේදීත් (28) අඛණ්ඩව සිදුකරමින් සිටින බව ද නාවික හමුදාව පවසයි.
ඒ අනුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් මඟින් ගංවතුර හේතුවෙන් පීඩාවට පත් පාසැල් ළමුන් ඇතුළු පුද්ගලයන් 911 දෙනෙකු නොවැම්බර් මස 27 දින වන විට ආරක්ෂිතව ප්‍රවාහනය කිරීමට කටයුතු කර ඇත.











