ගෝලීය නිෂ්පාදන ඉංජිනේරු සමාගමක් වන 99x ආයතනය, Agentri AI හි අනාගතය ඉදිරියට ගෙන යාමේ සිය නවෝත්පාදන නිෂ්පාදනය වන Agentri AI එළිදැක්වීම සඳහා පසුගියදා කොළඹ Cinnamon Grand හිදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය.
එම අවස්ථාවේ දී සමාගමේ දැක්ම, නව වෙළඳපොළ ඔස්සේ උපායමාර්ගික ව්‍යාප්තිය සහ ශ්‍රී ලංකාව නවෝත්පාදන සඳහා AI තාක්ෂණය ක්‍රියාත්මක කරන කේන්ද්‍රස්ථානයක් වශයෙන් ස්ථානගත කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය සමඟ කතිකා කිරීමට 99x හි ගෝලීය නායකයින්ට හැකි වූහ.
මෙම එළිදැක්වීමේ අවස්ථාව සඳහා 99x Asia හි නිර්මාතෘ මනෝ සේකරම්, 99x නෝර්වේ හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී Odd-Sverre Østlie, 99x නෝර්වේ සමූහයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී Trygve Moe, ප්‍රධාන විධායක නිලධාරී හසිත් යග්ගහවිට, ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනි ෂෙහානි සෙනෙවිරත්න සහ 99x නිෂ්පාදන ඉංජිනේරු, ප්‍රධාන AI නිලධාරී චතුර ද සිල්වා ඇතුළු 99x නායකත්ව කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයින් රැසක් එක්ව සිටියහ.
උත්සවය ආරම්භ කරමින්, 99x නිෂ්පාදන ඉංජිනේරු අංශයේ ප්‍රධාන විධායක නිලධාරී හසිත් යග්ගහවිට මහතා, ගෝලීය AI ක්ෂේත්‍රය තුළ 99x හි දැක්ම සහ අපේක්ෂාවන් ඉදිරිපත් කළේය. 99x ඉංජිනේරු කණ්ඩායම් AI මෙවලම් භාවිත කර ඇති ආකාරය සහ AI විශේෂාංග සක්‍රිය කරමින් ඔවුන්ගේ නිෂ්පාදන වැඩි දියුණු කිරීම සඳහා බොහෝ ගනුදෙනුකරුවන් සමඟ කටයුතු කරන ආකාරය පිළිබඳව ඔහු කරුණු දැක්වීය. ඉන් අනතුරුව මෙම උත්සවයේ කැපී පෙනෙන අංගය වූයේ 99x හි ස්වයංක්‍රීය බහු විශේෂිත AI පද්ධතිය (Agentic Orchestrator Platform) නිල වශයෙන් එළිදැක්වීමයි. මෙම Agentri පද්ධතිය තුළින් ගනුදෙනුකරුවන්ට කර්මාන්ත හරහා ඔවුන්ගේ ව්‍යාපාර ක්‍රියාවලීන් පරිවර්තනය කිරීමට හැකියාව ලැබෙන අයුරු ද හසිත් යග්ගහවිට පෙන්වා දුන්නේ ය.
Generative AI ක්‍රියාවලිය මේ වන විට දැවැන්ත ඉදිරි පියවරක් සනිටුහන් කර තිබෙන නමුත්, සැබැවින්ම පරිවර්තනයක් සිදු වන්නේ සම්මිශ්‍රණය වූ ව්‍යාපාරික අභියෝගයන්ට මුහුණ දීම සඳහා AI නියෝජිතයින් ඒකාබද්ධ කිරීමෙන් බව හසිත් යග්ගහවිට මෙහිදී පැහැදිලි කළේ ය. ඉංජිනේරු විශේෂඥතාව, නවෝත්පාදනය සහ මානව තීක්ෂ්ණ බුද්ධිය ඒකාබද්ධ කරන බහුපියවර පද්ධතියක් වන Agentri AI පිටුපස තිබෙන මූලික අදහස මෙය බව ඔහු පැවසීය.














