
ජාතික දත්ත ආරක්ෂණ පනතක් හඳුන්වා දීමට සහ ඒ හරහා දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීමට බලාපොරොත්තු වන බව ඩිජිටල් අර්ථික අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා පැවසීය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති 16 වන සයිබර් ආරක්ෂණ සමුුළුව සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවේදීය.
මේ වනවිට GOV PAY හරහා ගෙවීම් කටයුතු කිරීම සාර්ථකව සිදුවන බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, ඩිජිටල් හැඳුනුම්පත, ඩිජිටල් රියදුරු බලපත්‍රය, QR කේතය හරහා ගෙවීම් සිදු කිරීමට හැකි තාක්ෂණය හඳුන්වා දෙන බවත් පැවසීය.
මෙම පද්ධතිවල සංවේදි දත්ත ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න ඒවා සුරක්ෂිතව තබා ගැනීම මේ සම්බන්ධ ආයතන සහ රජයේද වගකීම බව ද කීවේය.
ජනතාවට අඛණ්ඩව මෙම සේවාවන් ලබා දීමටත් ජනතාවගේ විස්වාසය ඇතිව මෙම සේවාවන් පවත්වා ගැනීමටත් සයිබර් ආරක්ෂාව ඉතාම අත්‍යවශ්‍ය බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.











