2030 වසර වන විට ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය කිලෝ මිලියන 400ක් දක්වා සහ තේ අපනයන ආදායම ඩොලර් බිලියන 2.5ක් දක්වා ඉහළ නැංවීමේ ජාතික ඉලක්කය සපුරා ගැනීමේ අරමුණින් සහනාධාර තේ පොහොර බෙදාදීමේදී පැන නැගී තිබූ ගැටලු නිරාකරණය කරමින් QR ක්‍රමවේදය යටතේ නව පොහොර බෙදාදීම පිණිස ආරම්භ කළ වැඩසටහනට ඊයේ (31) වන විට අයදුම්පත් 95,230ක් ලැබී තිබූ බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංංශය පවසයි.
අදාළ දිනට ඒ අතරින් 67,056 දෙනෙකු ලියාපදිංචි කොට ඇති අතර ඒ අතරින් ගොවීන් 49,548 දෙනෙකු සඳහා QR කේතයන් ලබා දෙමින් සහනාධාර තේ පොහොර මෙට්‍රික් ටොන් 187.4ක් ලබා දී ඇත.
පැවති ක්‍රමවේදය යටතේ පැන නැගුණු ගැටලු ලෙස පොහොර සංස්ථාවෙන් පමණක් පොහොර ලබාදීම හා ඉඩම් ප්‍රමාණය අනුව පොහොර ප්‍රමාණය තීරණය කිරීමත් වෙනුවට පොහොර ලේකම් කාර්යාලයේ අනුමත පොහොර සමාගම් වලින් මෙම පොහොර සහනාධාරය නිකුත් කිරිම හා පොහොර ලබාදීම කඩිනම් කිරිමටත් නව QR ක්‍රමවේදයක් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් හඳුන්වාදීමට කටයුතු කරනන ලදී.
මෙතෙක් ඉඩම් ප්‍රමාණය මත පොහොර ප්‍රමාණය තීරණය වුව ද, මෙම ක්‍රමවේදය යටතේ මාස තුනක දළු ප්‍රමාණයේ එකතුවේ සාමාන්‍ය අගය මත පොහොර සහනාධාරයේ ප්‍රමාණය තීරණය කිරීමත් සිදුවේ. ඒ අනුව රජය විසින් කි.ග්‍රෑම් 50 පොහොර මිටියක් සඳහා රුපියල් 4000.00 ක මුදලක් ද, කි.ග්‍රෑම් 25 පොහොර මිටියක් සඳහා රු. 2000.00 මුදලක් ද කුඩා හා මධ්‍යම පරිමාණ තේ වතු හිමියන් වෙත ලබා දීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවති.
පැවති ක්‍රමවේදය සමඟ සැසඳීමේදී මෙම QR ක්‍රමවේදය ඔස්සේ පොහොර ලබාදීම දීමේ ක්‍රමවේදය වඩා පහසු සහ ක්‍රමවත් බව කුඩා හා මධ්‍ය පරිමාණ තේ වගාකරුවන්ගේ අදහසයි.











