රගර් ක්රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සිදුවූ දින තාජුඩීන්ගේ කාර් රථය පිටුපස හඹාගෙන ගිය වාහනයේ සිටි මෙතෙක් හඳුනාගැනීමට නොහැකිව සිටි පුද්ගලයා ‘මිද්දෙණියේ කජ්ජා’ නොහොත් අරුණ විදානගමගේ බවට හඳුනාගැනීමත් සමඟ එම කාලයේ ඔහු හා සමීපව කටයුතු කළ පුද්ගලයන් කවුරුන් ද යන්න පිළිබඳව මෙන්ම එම කාලයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහ එම පවුලේ පිරිස් වෙත සමීපව කටයුතු කළ පුද්ගලයන් පිළිබඳව ද විමර්ශනය කරමින් ඇතැයි ‘රතු ඉර’ වෙත කරුණු වාර්තා වෙයි.
වසීම් තාජුඩීන් ඝාතනය සඳහා යුද්ධ සහ නාවික හමුදා සාමාජිකයන්ට අමතරව ‘මිද්දෙණියේ කජ්ජා’ වැනි පාතාල සාමාජිකයන් ද යොදාගෙන ඇතැයි කරුණු හෙළිවී ඇතැයි ප්රකාශ කරන ආණ්ඩුවේ ප්රබලයෙක්, ‘රතු ඉර’ වෙත ප්රකාශ කළේ, මෙම විමර්ශනයන්ට අදාළව ඉදිරියේදී ආන්දෝලනාත්මක අත්අඩංගුවට ගැනීම් සිදුවෙනු ඇති බවයි.
මෙම ඝාතනයට අදාළව කැප්ටන් තිස්ස නැමැති පුද්ගලයෙකු ගැන මෙන්ම රාජපක්ෂ පවුලට සම්බන්ධ හම්බන්තොට ප්රාදේශීය දේශපාලඥයෙක් පිළිබඳව ද කරුණු ප්රකාශ වෙන අතර එම සැකකටයුතු සියල්ල දෙසම විමර්ශන ඇස යොමුව ඇති බව දැනගන්නට ලැබේ.
තාජුඩීන්ගේ කාර් රථය පිටුපස හඹාගෙන ගිය වාහනයේ සිටි පුද්ගලයා මිද්දෙණියේ කජ්ජා බව පොලීසිය ප්රකාශ කිරීමත් සමඟ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ප්රකාශ කළේ, රගර් ක්රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙසට තමන් ඉල්ලා සිටින බවය. එසේ නොවුනහොත්, වත්මන් ආණ්ඩුව සිදු කරන්නේ ඔහුගේ ආත්මයට ද අසාධාරණයක් බව මෙහිදී මන්ත්රීවරයා වැඩිදුරටත් ප්රකාශ කළේය.
කේ. සංජීව







