චීන ජනාධිපති ෂී ජින් පිං, ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ව්ලැඩිමීර් පුටින් අද (19) පැවැති තෙපාර්ශ්වික සාකච්ඡාවේ දී “සාම ප්‍රකාශයක්” සඳහා එකඟ වූ අතර එහිදී න්‍යෂ්ටික යුද්ධයක් කිසිදා සිදු නොකළ යුතු බව නැවත තහවුරු කළ බව චීනය සහ රුසියාව පැවසීය.
එක්සත් ජාතීන්ගේ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමටත්, සියලු රටවල් සඳහා පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන සැපයුම් වැඩි කිරීමටත්, ජාත්‍යන්තර අධිකරණවල රාජ්‍ය නිලධාරීන් භුක්ති විඳින මුක්තිය ආරක්ෂා කිරීමටත් නායකයින් තිදෙනා මෙම ප්රකාශනයේ දී ප්‍රතිඥා දුන්හ.
මෙම ලේඛනය චීන රාජ්‍ය ප්රවෘත්ති ඒජන්සිය වන ෂින්හුවා සහ ක්‍රෙම්ලිනය විසින් නිකුත් කරන ලදී. ඔවුන්ගේ හමුවීමෙන් පසු කිසිදු ජනාධිපතිවරයෙකු වහාම ප්‍රකාශ නිකුත් නොකළ අතර ට්‍රම්ප් සිය ගුවන් යානයෙන් එක්සත් ජනපදයට ආපසු ගියේය.
ලොව විශාලතම න්‍යෂ්ටික බලවතුන්ගේ නායකයින් තිදෙනා දකුණු චීනයේ ෂෙන්සෙන් නගරයේ වැවක් අසල වනාන්තර කඳු අතර පිහිටා ඇති විලාවක වට මේසයක වාඩි වී ඔවුන්ගේ හමුව ඓතිහාසික එකක් ලෙස විස්තර කළහ.
“අපි ඇත්තටම ඉතිහාසය නිර්මාණය කරනවා,” ට්‍රම්ප් රැස්වීම ආරම්භයේදී මාධ්‍යවේදීන් පිටත් කර හැරීමට පෙර ෂී සහ පුටින්ට පැවසීය. “සම්බන්ධතා සඳහා ඇති අවස්ථා අඩුවීමෙන් කිසිදා සාමයක් ඇති වූයේ නැහැ” ට්‍රම්ප් වැඩි දුරටත් පැවසුවේය.
- යුක්රේනය, ඉරානය සහ වෙළඳාම අතර වෙනස්කම්
ක්රිමියාව රුසියාවට සම්බන්ධ කරන ප්‍රධාන පාලමක් අඩපණ වීමෙන් පසු යුක්රේනයට එරෙහි යුද්ධයේදී පසුබෑමකට ලක් වූ පුටින්, “පැහැදිලිවම යුක්රේනයේ ගැටුම ඇතුළුව කලාපීය ගැටුම් සමථයකට පත් කිරීම සඳහා රටවල් තුනට බොහෝ පොදු අවශ්‍යතා ඇති” බව පැවසීය.
ට්‍රම්ප් සහ පුටින් මෙන් නොව, ෂී යුක්රේනය ගැන සෘජු සඳහනක් නොකළ නමුත් මෙසේ පැවසීය, “ප්‍රධාන බලවතුන් සමගියෙන් ජීවත් වන විට, ලෝකය සාමයෙන් සිටින බව ඉතිහාසය අපට කියයි. ප්‍රධාන බලවතුන් ගැටෙන විට, ලෝකය කැලඹීමකට පත්වේ.”
යුක්රේනය, ඉරානය, න්‍යෂ්ටික අවි සහ වෙළඳාම සම්බන්ධයෙන් රටවල් තුන අතර ගැඹුරු වෙනස්කම් ඇති අතර, එමඟින් කල් පවතින ප්‍රතිඵලයක් පිළිබඳ සැක මතු වේ. ආසියා-පැසිෆික් සමුළුවකට සමගාමීව ඔවුන්ගේ හමුවීම ඔවුන්ගේ අවශ්‍යතා නොසලකා හරිනු ඇතැයි බිය වන කුඩා රටවල් නොසන්සුන් කර තිබේ.
ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවට පෙර, ට්‍රම්ප් ෂී සහ පුටින් වෙන වෙනම හමුවූ අතර, දෙදෙනාම මිතුරන් ලෙස සඳහන් කළේය.
ට්‍රම්ප් ඉරාන යුද්ධය, හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය ගැන කතා කළ නමුත් ෂී සිය කිසිදු ප්රකාශයකදී ඉරානය ගැන සෘජුවම සඳහන් කළේ නැත.
“චීනය, රුසියාව සහ ඇමරිකා එක්සත් ජනපදය ගැටුම්වලට සම්බන්ධ පාර්ශ්වයන් වාඩි වී සාකච්ඡාවල නිරත වීමට දිරිමත් කිරීම දිගටම කරගෙන යා යුතු අතර, දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම මගින් ආරවුල් විසඳා ගත යුතුය,” ෂී පැවසීය.
ඔවුන් හමුවූ කයිලින් විලාවට සංවේදී රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් පිළිබඳ දිගු ඉතිහාසයක් ඇත. එහි අතීත අමුත්තන් අතර හිටපු උතුරු කොරියානු නායක කිම් ජොන්-ඉල්, ෂීගේ පියා ෂී ෂොංක්සුන් සහ දලයි ලාමාගේ තානාපතිවරු ඇතුළත් වේ.
- විනෝදාස්වාදය සහ සංදර්ශනය
මීට පෙර ෆොක්ස් නිවුස් වෙත අදහස් දක්වමින් ට්‍රම්ප්, සමුළුව සඳහා ඔහුගේ පැමිණීම වටා ඇති උත්කර්ෂවත් බව ඉස්මතු කළ අතර, එය පුටින් ඇතුළු අනෙකුත් නායකයින්ගේ නිහඬ ආචාරයට වඩා වෙනස් විය. ජපාන අගමැතිනි සනේ ටකයිචි කිසිදු පිළිගැනීමේ උත්සවයකින් තොරව ගොඩ බැස්සාය.
2025 දී ටකයිචි කළ ප්‍රකාශයෙන් පසු, චීනය තායිවානයට එල්ල කරන ලද ප්‍රහාරයක් තම භූමියට තර්ජනයක් වුවහොත් ජපානයට තම හමුදාව යෙදවිය හැකි බව ඇය පැවසූ විට, චීනය සමඟ ජපානයේ සබඳතා පළුදු වී තිබේ.
සමුළුව පුරාම හුදකලා චරිතයක් ලෙස පෙනී සිටි ටකයිචි පැවසුවේ 1972 සිට තායිවානය පිළිබඳ ටෝකියෝවේ ස්ථාවරය වෙනස් වී නොමැති බවයි.
යුක්රේනයේ කාර්යබහුල වුව ද ආසියාවේ බලය ප්රක්ෂේපණය කළ හැකි බව මොස්කව් පෙන්වා දුන් බැවින්, ජපානය සහ තායිවානය මෙම සතියේ රුසියානු හමුදා ගුවන් යානා ආක්‍රමණ වාර්තා කළහ. තායිවානය සම්බන්ධයෙන් ෂී ට්‍රම්ප්ට පැවසුවේ ඔවුන්ගේ සම්බන්ධතාවයේ ප්‍රධාන පසුබෑම් වළක්වා ගැනීම සඳහා එක්සත් ජනපදය “නිවැරදි දේ කළ යුතු” බවයි.
ෂී ජනාධිපති ධුරයට පත්වීමෙන් චීනයේ සංචාරයක යෙදෙන නායකයෙකු ගුවන් තොටුපළේදී පිළිගත්තේ (ට්‍රම්ප්) පළමු වතාවට වන අතර, පසුගි සැප්තැම්බර් මාසයේදී ඇන්ඩෲස් හිදී ඔවුන් අවසන් වරට මුණගැසුණු විට ට්‍රම්ප් කළ අභිනයට ෂී ද ප්‍රතිචාර දැක්වීය. නායකයින් දෙදෙනා එකිනෙකා වැළඳ ගත්හ.
“මේ ශ්‍රේෂ්ඨ ජනාධිපතිවරයෙක්, චීනයේ ශ්‍රේෂ්ඨ ජනාධිපතිවරුන්ගෙන් කෙනෙක්, ඔහු කවදාවත් කිසිවෙකු හමුවීමට ගුවන් තොටුපළට ගිහින් නැහැ,” ට්‍රම්ප් පැවසුවේ එය චීනයට සහ ඇමරිකා එක්සත් ජනපදයට “ජයග්‍රහණයක්” ලෙසය.
“ඒ විතරක් නෙවෙයි, රසික පිරිස, අලංකාරය, සංදර්ශන, දහස් ගණන් ජනතාව, කුඩා දරුවන්, සොල්දාදුවන්, ඒ සියල්ල.” ට්‍රම්ප් උදම් ඇනුවේය.
බටහිර වෙළඳ “ආරක්ෂණවාදය” සහ සම්බාධක හෙළා දකිමින් ෂී සහ පුටින් තියුණු දේශන පැවැත්වීමෙන් පසුව ට්‍රම්ප් පැමිණියේය.
බ්‍රහස්පතින්දා පැවති APEC සමුළුව අතරතුර, ෂී “නිදහස් හා විවෘත” වෙළඳාමක් ඉල්ලා සිටියේය. පාරිභෝගිකයින්ට වඩා කාර්මික ශක්තියට අනුග්‍රහය දක්වන චීනයේ වර්ධන ආකෘතිය අසාධාරණ බවත් එය අස්ථාවර ගෝලීය වෙළඳ අසමතුලිතතා නිර්මාණය කරන බවත් බටහිර නායකයින් පවසති.
ආසියා-පැසිෆික් කලාපයේ ආහාර සහ බලශක්ති සුරක්ෂිතතාව සඳහා රුසියාව ඉතා වැදගත් බව පුටින් පැවසීය. මධ්‍ය කාලීන මැතිවරණ පරාජයෙන් සහ Nvidia ඔත්තු බැලීමේ වංචාවෙන් පීඩා විඳි ට්‍රම්ප්, ප්‍රේක්ෂකයින්ට පැවසුවේ එක්සත් ජනපදය වසර සිය ගණනක් තිස්සේ පැසිෆික් බලවතෙකු බවයි.
- දැඩි න්‍යෂ්ටික අවි සාකච්ඡාව
විශාල න්‍යෂ්ටික අවි ගබඩා ඇති වොෂින්ටනය සහ මොස්කව් සමඟ සාකච්ඡාවලට එක්වීමට චීනය අතීතයේ දී නැවත නැවතත් විරෝධතා පළ කළ ද, ට්‍රම්ප් න්‍යෂ්ටික අවි පාලනය සමුළුවේ කේන්ද්‍රීය මාතෘකාවක් විය යුතු බව අවධාරණය කර තිබුණි.
“ඒක ලේසි දෙයක් නෙවෙයි – ඒවා අතහරින්න,” ට්‍රම්ප් ෂී සහ පුටින් හමුවීම ආරම්භයේදී ඔවුන්ට පැවසීය.
මෙම මාසයේ ඔවුන්ගේ වෙළඳ සටන් විරාමය දීර්ඝ කිරීමෙන් පසුව ට්‍රම්ප් සහ ෂී හමුවූ අතර, Nvidia චිප් අග්නිදිග ආසියාව හරහා චීනයට හරවා යවන බවට වාර්තා වීමත් සමඟ වර්ධනය වන ආතතිය මධ්‍යයේ, එක්සත් ජනපද අපනයන සීමා කිරීමේ ඵලදායීතාවය සහ චීනයට උසස් තාක්ෂණයට ප්‍රවේශ වීමේ අනාගතය පිළිබඳව ප්‍රශ්න මතු විය.
මූලාශ්‍රය: රොයිටර්















