හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු මිය යාම සම්බ්ධයෙන් පොලිසිය කරුණු කියයි

හෝමාගම පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මියයාමේ සිද්ධියට අදාළව සිදු කරනු ලබන විමර්ශනය සම්බන්ධව පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් අද (26) සවස නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහත පළ වේ.

2026.10.25 වන දින හෝමාගම පොලිස් වසමේ පිටිපන හන්දියේදී හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අයිස් මත්ද්‍රව්‍ය සමග අවුරුදු 29ක් වන මූනමලේවත්ත, කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු හෝමාගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවට හෝමාගම පොලිස් ස්ථානය මගින් වාර්තා කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසු වැඩබලන ගරු මහේස්ත්‍රාත්තුමිය විසින් ස්ථාන පරික්ෂාවක් සහ හෝමාගම මූලික රෝහලේදී මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණයක් සිදු කර ඇත.

මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය 2026.10.27 දින කළුබෝවිල රෝහලේදී සිදු කිරීමට නියමිතව ඇත.

සැකකරු මියයාම සම්බන්ධයෙන් හෝමාගම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තුමාගේ සෘජු අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි හෝමාගම දිස්ත්‍රික් (ii) තුමා විසින් විමර්ශන සිදු කරනු ලබයි.

ඒ අනුව, මෙම සිද්ධියට අදාලව හෝමාගම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලැබූ අපරාධ අංශයේ ස්ථානාධිපති හා දූෂණ මර්ධන වැටලීම් අංශයේ ස්ථානාධිපතිවරුන් වන උප පොලිස් පරික්ෂකවරුන් දෙදෙනෙකුගේ හා උපසේවක රාජකාරි යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ සේවය 2026.10.26 අද දින සිට අත්හිටුවීමට හෝමාගම දිස්ත්‍රික් (i) පොලිස් අධිකාරිතුමා විසින් කටයුතු කර ඇත.

පොලිස්පතිතුමාගේ නියෝග හා උපදෙස් පරිදි බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය හා පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින්ද මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website