පාර්ලිමේන්තුවේ අභිනව භාෂා පරිවර්තන ඒකකය විවෘත කෙරේ

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පාර්ලිමේන්තුවේ අභිනව භාෂා පරිවර්තන ඒකකය පසුගිය දා නිල වශයෙන් විවෘත කෙරිණි.

පාර්ලිමේන්තුවේ ලිඛිත භාෂා පරිවර්තන කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමේ අරමුණින් ස්ථාපිත කළ මෙම ඒකකය, පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මියගේ සුරතින් විවෘත කෙරිණි.

මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළේ, කාර්යාලයක දියුණුව උදෙසා නිවැරදි නායකත්වය මෙන්ම සාමූහික එකමුතුකම ද අත්‍යවශ්‍ය වන බවයි. පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලය සැමවිටම සියලු සේවකයන්ගේ ජීවන තත්ත්වය, වෘත්තීයමය ස්ථාවරභාවය සහ අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී සිටින බව පැවසූ එතුමිය, පාර්ලිමේන්තුව සතු වටිනාම සම්පත එහි කාර්ය මණ්ඩලය බව ද වැඩිදුරටත් අවධාරණය කළාය. එමෙන්ම, මෙම නව අංශය භාෂා පරිවර්තකයන් වෙනුවෙන් විවෘත වුවද, ඒ උදෙසා සක්‍රීයව හා පෙරමුණ ගෙන කටයුතු කරනු ලබන්නේ කථා පරිවර්තකයන් බව දැකීමට ලැබීම මහත් සතුටට කරුණක් බව ද මහලේකම්වරිය සඳහන් කළාය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතා, ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජයලත් පෙරේරා මහතා, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.

මෙහිදී පිළිගැනීමේ කථාව පවත්වමින් ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජයලත් පෙරේරා මහතා සඳහන් කළේ, කථා පරිවර්තන සේවාවට අමතරව කථා පරිවර්තක කාර්යාලය විසින් විශාල ලිඛිත පරිවර්තන කටයුතු රාශියක් සිදු කරනු ලබන බවයි. එසේවුවද , භාෂා පරිවර්තන ප්‍රමාද වන බවට පාර්ලිමේන්තුවේ කිසිදු කාර්යාලයකින් මෙතෙක් පැමිණිල්ලක් ලැබී නොමැති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

පාර්ලිමේන්තු භාෂා පරිවර්තක කටයුතු සඳහා වෙනම භාෂා පරිවර්තන ඒකකයක් ස්ථාපිත කිරීමේ සංකල්පය ප්‍රධාන පාර්ලිමේන්තු කථා පරිවර්තක සී. ජේ. කරුණාරත්න මහතා විසින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය වෙත ඉදිරිපත් කර තිබූ අතර, මහ ලේකම්වරියගේ සහ සහකාර මහ ලේකම්වරයාගේ පූර්ණ සහයෝගය මත එය යථාර්ථයක් බවට පත් විය. මෙම උත්සවයේදී අදහස් දැක්වු ප්‍රධාන පාර්ලිමේන්තු කථා පරිවර්තක කරුණාරත්න මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තු කථා පරිවර්තක කාර්යලයේ භෞතික පහසුකම් දියුණු කිරීමටත්, කථා පරිවර්තනයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා වන පුහුණු අවස්ථා ලබාදීමටත් මහලේකම් තුමිය සහ සහකාර මහලේකම් තුමා ලබාදෙන සහයෝගය ඉතා ප්‍රසංශනීය බවයි.

මෙම ඒකකය ස්ථාපිත කිරීම මගින් පාර්ලිමේන්තු භාෂා පරිවර්තකයින් සඳහා වඩාත් යහපත් වෘත්තීය පරිසරයක් නිර්මාණය කිරීමට මෙන්ම පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තන කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමට අරමුණු කෙරෙයි.

මෙහිදී භාෂා පරිවර්තකයින්ගේ තේමා ගීතය (Translators’ Anthem) සහ කථා පරිවර්තකවරුන් සඳහා වූ වෘත්තීය ආචාරධර්ම සංග්‍රහය ද පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතා වෙත පිළිගැන්වීම ද සිදුවිණි. එමෙන්ම, පාර්ලිමේන්තු සේවයට එක්වූ නව කථා පරිවර්තකයින් සහ භාෂා පරිවර්තකයින් වෙනුවෙන් කථා පරිවර්තන කාර්යාලය විසින් පවත්වන ලද පුහුණු වැඩසටහන සාර්ථකව අවසන් කිරීම වෙනුවෙන් සහතිකපත් ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.

භාෂා පරිවර්තන ඒකකය ස්ථාපිත කිරීම වෙනුවෙන් මහ ලේකම්වරියට සහ සහකාර මහ ලේකම්වරයාට සමරු තිළිණ ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු විය.

මේ අතර, සැප්තැම්බර් 30 වැනිදාට යෙදුණු 2026 ජාත්‍යන්තර භාෂා පරිවර්තන දිනය සැමරීම ද මෙම අවස්ථාවට සමගාමීව පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මෙවර ජාත්‍යන්තර භාෂා පරිවර්තන දිනය “භාෂාමය විවිධත්වය සහ භාෂා අයිතිවාසිකම්(Linguistic Diversity and Language Rights) යන තේමාව යටතේ “අවබෝධ කර ගැනීමට හැකිවීමේ බලය”( The Power of Being Understood) යන උප තේමාව සමඟ සැමරිණි.

විවිධ භාෂා සහ සංස්කෘතීන් අතර සන්නිවේදනය හා අවබෝධය වර්ධනය කිරීමේදී කථා පරිවර්තනය සහ භාෂා පරිවර්තනය ඉටු කරන වැදගත් කාර්යභාරය මෙහිදී අවධාරණය කෙරිණි.

හිටපු නියෝජ්‍ය ප්‍රධාන පාර්ලිමේන්තු කථා පරිවර්තකවරුන් වන කේ. එම්. ක්‍රිස්ටෝපර් සහ එන්. සීර්පාදම් යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූ අතර, පාර්ලිමේන්තු කථා පරිවර්තන සේවාව වෙනුවෙන් ඔවුන් විසින් ඉටු කළ වටිනා මෙහෙවර ද මෙහිදී අගය කෙරිණි.

පාර්ලිමේන්තුවේ ප්‍රථම භාෂා පරිවර්තන ඒකකය ස්ථාපිත කිරීම සහ 2026 ජාත්‍යන්තර භාෂා පරිවර්තන දිනය සැමරීම යන අවස්ථා දෙකම සනිටුහන් කරමින් පැවති මෙම උත්සවය, පාර්ලිමේන්තුවේ කථා පරිවර්තන හා භාෂා පරිවර්තන සේවාවන් තවදුරටත් වෘත්තීයමය හා කාර්යක්ෂම සේවාවක් බවට පත් කිරීමේ ගමනේ වැදගත් පියවරක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website