වසර ගණනක් පැරණි විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතෙහි අඩුපාඩු රැසක් පවතින හෙයින් මෙම වසරේදී එම පනත සංශෝධනය කර ‘විදේශ රැකියා පනත’ නමින් නව පනතක් ගෙන එන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය අරූන් හේමචන්ද්‍ර මහතා පවසයි.
පසුගිය වසරේ විදේශ රටවල් සමඟ රටට හිතකර ගිවිසුම් රැසකට සම්බන්ධ වූ හෙයින් කොන්සියුලර් සේවාව ශක්තිමත් අංශයක් බවට පත් කිරීමට හැකි වූ බවත් එමගින් විගමණික ශ්‍රමිකයන් වෙනුවෙන් ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කළ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
විදේශ ශ්‍රමිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් පියවර රැසක් ගන්නා බව පැවසූ ඒ නියෝජ්‍ය අමාත්‍යවරයා ඔවුන් සඳහා රුපියල් මිලියන 10ක නිවාස ණයක් ලබා දීමට කටයුතු කරන බව ද පැවසීය.
“විගමණික ශ්‍රමිකයින් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් ලබා දීම වෙනුවෙන් මේ වන විට සාකච්ඡා පැවැත්වෙනවා. විගමණික ශ්‍රමිකයන්ගේ ගැටලුවලට සෘජුව මැදිහත් වී ඒවා විසඳීමට ආණ්ඩුව කටයුතු කරනවා. ඔවුන්ට යම් ගැටලුවක් පවතී නම් ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පැමිණිලි කිරීමට හැකියි. ඒ සඳහා විශේෂ විමර්ශන ඒකකයක් පිහිටුවීමට අපි ඉදිරියේ දී පියවර ගන්නවා. ඉදිරියේ දී පැමිණිලි ඉදිරිපත් කිරීමට වට්ස්ඇප් අංකයක් හඳුන්වා දීමට අපි පියවර ගන්නවා” නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.








