නියමිත බර නැති පාන් සහ බර/මිල ප්රදර්ශනය නොකරන වෙළෙඳුන්ට එරෙහිව දිවයින පුරා විශේෂ වැටලීම් ක්රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කළ නිවේදනයක සදහන් වේ.
එම නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2026 සැප්තැම්බර් 29 දින දිවයින පුරා පාන් නිෂ්පාදනය හා අලෙවිය සම්බන්ධයෙන් විශේෂ වැටලීම් හා විමර්ශන වැඩසටහනක් ක්රියාත්මක කරන ලදී. මෙහිදී පාන්වල නියමිත බර පවතින්නේද, බර හා මිල පාරිභෝගිකයාට පැහැදිලිව ප්රදර්ශනය කර තිබේද, සහ බර අඩු පාන් හමු වූ අවස්ථාවල ඒවා සැපයූ බේකරිය හඳුනාගෙන පසුපස විමර්ශනය සිදු කිරීම පිළිබඳ විශේෂ අවධානය යොමු කරන ලදී.
මෙම වැඩසටහන යටතේ වෙළෙඳසැල් සහ බේකරි 107ක් පරීක්ෂාවට ලක් කර ඇත.
එහිදී,
බර අඩු පාන් සම්බන්ධ සිද්ධි 35ක් වාර්තා වී ඇත.
වෙළෙඳසැල්/බේකරි 85ක පාන්වල බර නිසි ලෙස ප්රදර්ශනය කර නොතිබුණි.
වෙළෙඳසැල්/බේකරි 55ක පාන්වල මිල නිසි ලෙස ප්රදර්ශනය කර නොතිබුණි.
බේකරි 71ක් නිලධාරීන් විසින් පරීක්ෂා කර ඇත.
බර අඩු පාන් හමු වූ අවස්ථාවල සිල්ලර වෙළෙන්දාට එරෙහිව පමණක් කටයුතු නොකර, එම පාන් නිෂ්පාදනය කළ හෝ සැපයූ බේකරිය දක්වා විමර්ශනය ගෙන යාමට නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
අදාළ බේකරියේ නිෂ්පාදනය කරන පාන්වල බරද පරීක්ෂා කර, නියමිත බරට අනුකූල නොවන පාන් නිෂ්පාදනය කරන බව තහවුරු වන අවස්ථාවලදී නිෂ්පාදන ක්රියාවලිය වහාම නිවැරදි කිරීමට උපදෙස් ලබාදෙන අතර, ප්රමාණවත් සාක්ෂි පවතින අවස්ථාවලදී අදාළ මහේස්ත්රාත් අධිකරණවල නඩු පැවරීමටද කටයුතු කරනු ලැබේ.
පාරිභෝගිකයා ගෙවන මුදලට නියමිත බරින් යුතු පාන් ලබාදීම සහ නිවැරදි තොරතුරු ලබාදීම බේකරි හිමියන්ගේ සහ වෙළෙඳුන්ගේ නීතිමය වගකීමකි.
- පෙර ක්රියාත්මක කළ විශේෂ වැඩසටහන
2026 සැප්තැම්බර් 01 සිට 03 දක්වා ක්රියාත්මක කළ පෙර පාන් විශේෂ වැටලීම් වැඩසටහනේදී වෙළෙඳසැල් සහ බේකරි 118ක් පරීක්ෂා කර තිබූ අතර, බර අඩු පාන් සම්බන්ධ සිද්ධි 54ක් වාර්තා වී තිබුණි. එම වැඩසටහනේදී බේකරි 81ක් ද පරීක්ෂාවට ලක් කර තිබුණි.
ඒ අනුව මෙම වැඩසටහන් දෙක යටතේ පසුගිය කාලසීමාව තුළ වෙළෙඳසැල් සහ බේකරි 225ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, බර අඩු පාන් සම්බන්ධ සිද්ධි 89ක් වාර්තා වී ඇත.
මෙම විශේෂ වැටලීම් හා පසු විමර්ශන වැඩසටහන් ඉදිරියටත් දිවයින පුරා අඛණ්ඩව ක්රියාත්මක කරන අතර, නීතිය උල්ලංඝනය කරන වෙළෙඳුන් සහ බේකරි/නිෂ්පාදකයන්ට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කරනු ඇත.
නියමිත බරින් පාන් නිෂ්පාදනය කරන්න — නිවැරදි තොරතුරු සමඟ අලෙවි කරන්න — පාරිභෝගික විශ්වාසය රකින්න.















