සති කිහිපයක සිට අසනීප තත්ත්වයේ පසු වු කාවන්තිස්ස ඇතාගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව පරිසර අමත්‍ය ධම්මික පැටබැඳි මහතා පවසයි.
තුවාල ලබා සිටි කාවන්තිස්ස සොයාගත් මොහොතේ සිට ඔහුගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් වනජීවී නිලධාරීන් සහ පශු වෛද්‍ය කණ්ඩායම් දිවා රෑ නොබලා කැප වූ බව කී පරිසර අමාත්‍යවරයා තද වැසි මැද පවා, අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ, වේදනා නාශක සහ අනෙකුත් ප්‍රතිකාර ලබාදෙමින් ඔහුගේ තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කළ පශු වෛද්‍යවරුන් සහ වනජීවී නිලධාරීන් කණ්ඩායම් දෙකක් ඔහු වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කළ බව ද කීවේය.
“අද ඒ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස කාවන්තිස්සගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් තිබීම අපට විශාල සතුටක්. ඔහුට නැවතත් ශක්තිය ලැබී තමන්ගේ රංචුව සමඟ නිදහසේ එක්වී, අපේ වනාන්තර තුළ ආඩම්බරයෙන් ඇවිද යන දවස දැකීමයි අපේ එකම බලාපොරොත්තුව” අමාත්‍යවරයා පැවසුවේය.
කාවන්තිස්ස වෙනුවෙන් තම කාලය, ශ්‍රමය සහ දැනුම කැප කළ පශු වෛද්‍යවරුන්ට, වනජීවී නිලධාරීන්ට සහ සියලුම සහායක කාර්ය මණ්ඩලයට අමාත්‍යවරයා සිය ස්තුතිය පළ කළේය.
කාවන්තිස්සගේ තත්ත්වය දිනපතා ඉතා සමීපව නිරීක්ෂණය කරන ලෙසත්, ප්‍රතිකාර අතරතුර අවශ්‍ය වෙනස්කම් සිදුකරමින්, ඔහුට ලබාදෙන ඖෂධ හා ප්‍රතිකාර නිසි පරිදි අඛණ්ඩව ලබාදෙන ලෙසත් අදාළ නිලධාරීන්ට අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
“මෙය එක් දිනක ප්‍රතිකාරයකින් අවසන් වන කාර්යයක් නොවේ. කාවන්තිස්ස සම්පූර්ණයෙන් සුව වන තුරු ඔහුගේ තත්ත්වය පිළිබඳව අපගේ අවධානය අඛණ්ඩව යොමු කරනවා” පරිසර අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.















