සියඹලන්ගමුව ප්‍රදේශයේ වෙඩි වැදී රෝගාතුරව සිටින ඇතාට නිදහසේ සිටීමට ඉඩ දෙන ලෙස ඉල්ලීමක්

සියඹලන්ගමුව ප්‍රදේශයේ දී බඳින කඳකට ගොදුරු වීමෙන් ඉදිරිපස දකුණු පාදයට වෙඩි වැදී සිටින දළ ඇතාගේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට මිගලැව වනජීවී අඩවි ආරක්ෂක ඇතුළු වනජීවී නිලධාරී කණ්ඩායමක් නිරන්තරයෙන් කටයුතු කරනවා. ඇතා වන අලි රංචුවක් සමග එක් වී සිටින බව පසුගිය දිනවල එම නිලධාරීන් විසින් නිරික්ෂණය කළේය.

නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය නිලධාරී ඉසුරු හේවාකෝට්ටගේ මහතා ඇතුළු වනජීවී නිලධාරීන් අවශ්‍ය ප්‍රතිකාර අඛණ්ඩව ලබාදුන් අතර ඇතා සුවපත් කරගැනීම වෙනුවෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පූර්ණ අවධානය යොමු වී තිබේ.

දින කිහිපයක් ඇතාට අවශ්‍ය ප්‍රතිජීවක ඇතුළු ⁣ඖෂධ ලබාදුන් අතර පාදයේ ඉදිමුම් ස්භාවය හා තුවාලය ක්‍රමයෙන් අඩුවී ඇති බවට ⁣වෛද්‍ය කණ්ඩායම නිරීක්ෂණය කළා. ඇතාගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කිරිම සදහා වනජීවී පශු වෛද්‍යවරුන් වන චන්දන ජයසිංහ, ආනන්ද ධර්මකීර්ති, අකලංක පිණිදිය , ඉසුරු හේවාකෝට්ටගේ සහ පුබුදු අදස්සුරිය යන නිලධාරීන්ගෙන් සමන්විත වනජීවී පශුවෛද්‍ය කණ්ඩායම කටයුතු කරනවා.

මේ වන විට ඇතා 15 දෙනෙකුගෙන් පමණ සමන්විත වන අලි රංචුවක් සමග ගැවසෙන අතර පෙරේදා (29) දින පාන්දර 4.00 ට පමණ ද ඊයේ (30) දින රාත්‍රි 10.30 ට පමණ ද වනජීවී නිලධාරීන් ඇතාට සමීප වී නිරීක්ෂණය කළා. එහිදී ඇතා නිරෝගී සුවයෙන් සිටි අතර පසුගිය දිනවල දිගින් දිගටම ප්‍රතිකාර සිදුකළ නිසාත් ඇතා නිද්‍රාවට පත් කිරීම සඳහා අවශ්‍ය ⁣බෙහෙත් විදීම වේදනාකාරී වු නිසාත් ඇතා නිලධාරී කණ්ඩායම පසුපස හඹා ආවා. එහිදි එක් නිලධාරියෙක් ඇතුගෙන් බේරීමට දිවයාමේ දී ඇද වැටීමට ලක් වුණා.

ඇතා රංචුවත් සමග ගැවසෙමින් සවස් භාගයේ දී ජලය පානය කිරිම සදහා එම ප්‍රදේශයේ වැව්ලට පැමිණිමට පුරුදුව සිටින නමුත් වැව් පිටි සහ ආසන්න ස්ථානවලට වන අලි නැරඹීම සදහා ඡායාරූප ශිල්පීන්, සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් ඇතුළු මහජනතාව පැමිණෙන බැවින් එවැනි අවස්ථාවල දි කලබලය‌ට පත්වන වන අලින් වැවට නොබැස ගම්වදින බවට අවට ගම්වාසින් විසින් වනජීවී නිලධාරීන්ට පැමිණිලි කරනවා.

එබැවින් වෛද්‍යවරුන් ඇතුළු වනජීවී නිලධාරීන්ට ඇතාව නිරීක්ෂණය කිරීම සඳහා අවශ්‍ය ඉඩකඩ සලසා ගැනීම වෙනුවෙන් අවශ්‍ය සහය ලබාදෙන ලෙසත් ඇතා නැරඹීමට, ජායාරූප ලබාගැනීම පැමිණීමෙන් වෛද්‍යවරුන්ට මෙන්ම අලින්ට බාධා සිදුනොකරන ලෙසත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පරිසර අමාත්‍ය ධම්මික පටබැදි මහතා සිය ෆේස්බුක් පිටුවේ තබන ලද සටහනක සම්පූර්ණ උපුටා ගැනීමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website