කාවන්තිස්ස ඇතාගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය සහ මේ වන විට සිදුකෙරෙමින් පවතින ප්‍රතිකාර කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා පරිසර අමාත්‍ය ධම්මික පටබැදි මහතා ඊයේ (30) ගල්ගමුව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ඒ අනුව, ඇතාට ප්‍රතිකාර ලබා දෙන නිකවැරටිය සහ ගල්ගමුව වනජීවී පශු වෛද්‍ය ඒකකයන්හි වෛද්‍ය නිලධාරීන් ප්‍රමුඛ පශු වෛද්‍ය ඉසුරු හේවකෝට්ටේ මහතා, පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති මහතා, පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා සහ පශු වෛද්‍ය අධ්‍යක්ෂ ගංගා විජේසිංහ මහත්මිය ඇතුළු වෛද්‍යවරුන්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුව සමඟ ගල්ගමුව වනජීවී කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
පසුගිය දින කිහිපය තුළ කාවන්තිස්ස ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අඛණ්ඩව සහ සමීපව නිරීක්ෂණය කර ඇති අතර, ඒ අනුව අවශ්‍ය වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබාදී ඇති බව වෛද්‍ය කණ්ඩායම විසින් දැනුම් දෙන ලදී.
විශේෂයෙන්ම, සියඹලංගමුව වැව ආසන්නයේ පිහිටි වන ලැහැබක් තුළදී ඇතා නිර්වින්දනය කර, ඉදිරි දකුණු පාදයේ තිබූ තුවාලයට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම මෙන්ම ප්‍රතිජීවක ඖෂධ ලබාදීමද සිදුකර ඇත.
මෙහිදී ඇතාගේ ඉදිරි සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව තවදුරටත් නිරන්තර නිරීක්ෂණය සහ අවශ්‍ය ප්‍රතිකාර සිදුකිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර, ජ්‍යෙෂ්ඨ වනජීවී පශු වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවේ අධීක්ෂණය යටතේ ඉදිරි ප්‍රතිකාර හා කළමනාකරණ කටයුතු අඛණ්ඩව සිදුකරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබා දෙන ලදී.
එමෙන්ම, කාවන්තිස්ස ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අදාළ වෛද්‍ය කණ්ඩායම විසින් නිරන්තර පසු විපරමක් සිදුකරමින්, තත්ත්වයේ යම් වෙනසක් ඇති වුවහොත් ඒ අනුව කඩිනම් වෛද්‍ය මැදිහත්වීම් සිදුකරන ලෙස ද අමාත්‍යවරයා වෛද්‍යවරුන් වෙත වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය්ය.
කාවන්තිස්ස ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වනජීවී පශු වෛද්‍ය කණ්ඩායම විසින් අඛණ්ඩව අවශ්‍ය අවධානය යොමු කරමින් ප්‍රතිකාර සහ නිරීක්ෂණ කටයුතු සිදුකරනු ඇති බව ද අමාත්‍යවරයා පැවසුවේය.













