කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (25) දින උදෑසන 05.30 ට නිකුත් කරන ලද නිල කාලගුණ අනාවැකිය.
බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය, ඉන්දියාවේ උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් සහ දකුණු ඔඩිෂා වෙරළ තීරය හරහා ඉන්දියානු ගොඩබිම් කලාපයට ඇතුල්වී ඇත.
එහි බලපෑම හේතුවෙන් බටහිර-මධ්‍යම සහ ඊට යාබද වයඹදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ගිගුරුම් සහිත තද වැසි ඇතිවන අතර, සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (70-80) දක්වා වැඩි වීමත් සමග එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වේ.
එම නිසා උතුරු අක්ෂාංශ 10 ත් 22ත් සහ නැගෙනහිර දේශාංශ 82ත් 90ත් අතර මුහුදු ප්‍රදේශවල, නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ. මේ වනවිට එම ප්‍රදේශයේ ධිවර කටයුතුවල යෙදී සිටී නම් එම මුහුදු ප්‍රදේශ වලින් ඉවත්වන ලෙසත් උපදෙස් දෙනු ලැබේ.
ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරි නිවේදන සහ අනාවැකි සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසත් ඉල්ලා සිටිනු ලැබේ.
වැසි තත්ත්වය:
කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
සුළඟ:
සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.
ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම සහ පුත්තලම හරහා මීගමුව දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (55-65) දක්වා වැඩි විය හැක. මීගමුව සිට බේරුවල හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා වැඩි විය හැක.
මුහුදේ ස්වභාවය:
ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම සහ පුත්තලම හරහා මීගමුව දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ. මීගමුව සිට බේරුවල හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.0 – 2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.













