හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව තවත් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක්  

පසුගිය 2024 ජනාධිපතිවරණය සමයේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් සිදු කරන ලද පැමිණිල්ලක් මත මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර යන අය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹීම තුළින් එවකට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තිදෙනෙකු පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීන්දු කළේ ය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මෙම තීන්දුව ලබා දුන්නේ ය.

වගඋත්තරකාර හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිදු කරන ලද පැමිණිල්ල දේශපාලනික අරමුණකින් යුතුව සිදු කළ ද්වේශසහගත පැමිණිල්ලක් බවත්, ඒ මත විමර්ශන ඇරඹීම තුළින් වගඋත්තරකරුවන් පෙත්සම්කාර ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්නගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් තීන්දුවේ සඳහන් විය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉකුත් ජනාධිපතිවරණය සමයේ ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න යන අය විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේ ය.

මෙම නඩු තීන්දුවේ පිටපතක් පොලිස්පතිවරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙසත්  ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website