ප්‍රමිතියෙන් තොර හිස්වැසුම් සහ කල් ඉකුත් වූ ළදරු කිරිපිටි අලෙවි කළ ව්‍යාපාරික ආයතන දෙකකට දඩ

ප්‍රමිතියෙන් තොර හිස්වැසුම් සහ කල් ඉකුත් වූ ළදරු කිරිපිටි අලෙවි කළ ව්‍යාපාරික ආයතන දෙකකට අලුත්කඩේ අධිකරණයෙන් රුපියල් ලක්ෂ 3ක දඩ නියම කළ බව පාරිභෝගික කටයුතු පිළිබ අධිකාරිය පවසයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිය නිල ෆෙස්බුක් පිටුවේ පළ කළ සම්පූර්ණ පුවත පහත පළ වේ.

පාරිභෝගිකයින්ගේ ජීවිත හා සෞඛ්‍ය ආරක්ෂාවට අවදානමක් ඇති කළ හැකි අයුරින් ප්‍රමිතියෙන් තොර යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුම් සහ කල් ඉකුත් වූ ළදරු කිරිපිටි අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබූ කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතන දෙකකට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නඩු පවරා තිබූ අතර, අදාළ චෝදනාවලට විත්තිකාර ව්‍යාපාරික ආයතන වරද පිළිගැනීමෙන් අනතුරුව අලුත්කඩේ අංක 05 ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 300,000/-ක සමස්ත දඩ මුදලක් නියම කර ඇත.

මෙම වැටලීම් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුයුක්ත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් සිදු කර ඇත.

ප්‍රමිතියෙන් තොර යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුම් – රු. 200,000/-ක දඩයක්

පළමු වැටලීම කොළඹ 10, ජයන්ත වීරසේකර මාවතේ පිහිටි SR Apex Motoguards Pvt Ltd නමැති වෙළෙඳසැලේදී සිදු කර ඇත. එහිදී SLS 517 ප්‍රමිති සහතික ලාංඡනය නොමැති LSS නමින් යුත් යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුම්, රුපියල් 1,800/-ක මිලකට අලෙවි කිරීම සඳහා ප්‍රදර්ශනය කර තිබියදී නිලධාරීන් භාරයට ගෙන තිබේ. අදාළ චෝදනාවට විත්තිකාර ආයතනය වරද පිළිගැනීමෙන් අනතුරුව, ගරු අධිකරණය විසින් රුපියල් 200,000/-ක දඩ මුදලක් නියම කර ඇත.

කල් ඉකුත් වූ ළදරු කිරිපිටි – රු. 100,000/-ක දඩයක්

දෙවන වැටලීම කොළඹ 06, ධර්මාරාම පාරේ පිහිටි අලිෆ් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගමට අයත් A. Life Pharmacy ආයතනයේදී සිදු කර ඇත. එහිදී 2026.02.01 දිනට කල් ඉකුත් වූ Capral Lac Gold ළදරු කිරිපිටි ඇසුරුම්, විකිණීමට ඇති අනෙකුත් භාණ්ඩ සමඟ අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබියදී සොයාගෙන ඇත. අදාළ චෝදනාවට විත්තිකාර ආයතනය වරද පිළිගැනීමෙන් අනතුරුව, ගරු අධිකරණය විසින් රුපියල් 100,000/-ක දඩ මුදලක් නියම කර ඇත.

පාරිභෝගික ඔබත් සැලකිලිමත් වන්න! යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුමක් මිලදී ගැනීමේදී SLS 517 ප්‍රමිති ලාංඡනය පිළිබඳව අනිවාර්යයෙන්ම පරීක්ෂා කරන්න. ළදරු ආහාර ඇතුළු කල් ඉකුත්වීමේ දිනයක් සහිත භාණ්ඩ මිලදී ගැනීමේදී Expiry Date නිසි පරිදි පරීක්ෂා කර මිලදී ගන්න. එසේම මිලදී ගන්නා භාණ්ඩ සඳහා නිවැරදි බිල්පතක් ලබාගෙන සුරක්ෂිතව තබාගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website