නිල අලෙවි නියෝජිත මිලට වඩා වැඩි මිලට යතුරුපැදි අලෙවි කළ යතුරුපැදි වෙළෙඳසැල් 03කට දඩ

නිල අලෙවි නියෝජිත මිලට වඩා වැඩි මිලට යතුරුපැදි අලෙවි කළ සහ මිල ප්‍රදර්ශනය නොකළ හෙට්ටිපොල යතුරුපැදි වෙළෙඳසැල් 03කට අධිකරණයෙන් දඩ නියම කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අද (09) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

එම නිවේදනය පහත පළ වේ.

මෙරට යතුරුපැදි වෙළෙඳපොළ තුළ ඇතැම් ජනප්‍රිය යතුරුපැදි සඳහා පවතින ඉහළ ඉල්ලුම සහ සීමිත සැපයුම අවස්ථාවක් කරගනිමින්, ඇතැම් පාර්ශ්ව විසින් යතුරුපැදි මිලදීගෙන ඒවා පසුව වැඩි මිලට පාරිභෝගිකයින් වෙත නැවත අලෙවි කරන බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත තොරතුරු ලැබී තිබුණා.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් මෙරට බලපත්‍රලත් නිල යතුරුපැදි අලෙවි නියෝජිත සමාගමක් ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලිඛිතව කරුණු දක්වා තිබුණා. අදාළ ලිපිය අනුව, ඉහළ පාරිභෝගික ඉල්ලුමට සරිලන තරම් යතුරුපැදි තොග නොලැබීම හේතුවෙන් පාරිභෝගිකයින්ට සාධාරණ අවස්ථාවක් ලබාදීම සඳහා පළමුව පැමිණෙන පාරිභෝගිකයාට ප්‍රමුඛතාව ලබාදෙන පොරොත්තු ලේඛන ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබුණා.

එහෙත් මෙම සීමිත සැපයුම් තත්ත්වයෙන් ප්‍රයෝජන ගනිමින් ඇතැම් පාර්ශ්ව විවිධ පුද්ගලයින්ගේ නම් යොදා යතුරුපැදි ලබාගෙන, ඒවා සැබෑ අවසන් පාරිභෝගිකයින් වෙත වැඩි මිලකට නැවත අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බවද අදාළ ලිපියෙන් පාරිභෝගික අධිකාරිය වෙත දැනුම් දී තිබුණා.

මෙම තොරතුරු සහ වෙළෙඳපොළේ පැවති තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් 2026.07.27 දින හෙට්ටිපොල ප්‍රදේශයේ යතුරුපැදි වෙළෙඳසැල් ඉලක්ක කර විශේෂ වැටලීම් සිදුකරනු ලැබුවා.

එහිදී යතුරුපැදිවල මිල ගණන් ප්‍රදර්ශනය නොකිරීම සහ නිල අලෙවි නියෝජිත සමාගම විසින් නියම කර තිබූ මිල ඉක්මවා වැඩි මිලට යතුරුපැදි අලෙවි කිරීම සම්බන්ධයෙන් වෙළෙඳසැල් 03කට එරෙහිව හෙට්ටිපොල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

අධිකරණ තීන්දු සහ විස්තර:

මල්ජි ඔටෝ සිටි – කුරුණෑගල පාර, හෙට්ටිපොල: යතුරුපැදිවල මිල ප්‍රදර්ශනය නොකිරීම සහ නිල අලෙවි නියෝජිත සමාගමේ මිල වන රු. 790,000/- ඉක්මවා රු. 850,000/-කට, එනම් රු. 60,000/-ක් වැඩියෙන් යතුරුපැදියක් අලෙවි කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණා. අදාළ චෝදනා දෙක සඳහා රු. 10,000/-ක දඩයක් නියම විය.

ප්‍රදීප් මෝටර්ස් – හලාවත පාර, හෙට්ටිපොල: යතුරුපැදිවල මිල ප්‍රදර්ශනය නොකිරීම සහ නිල අලෙවි නියෝජිත සමාගමේ මිල වන රු. 790,000/- ඉක්මවා රු. 845,000/-කට යතුරුපැදියක් අලෙවි කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණා. අදාළ චෝදනා දෙක සඳහා රු. 10,000/-ක දඩයක් නියම කෙරුණා.

ලකී එන්ටර්ප්‍රයිසස් – හෙට්ටිපොල: විකිණීම සඳහා තබා තිබූ යතුරුපැදිවල මිල ගණන් ප්‍රදර්ශනය නොකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ අතර, ඒ සඳහා රු. 5,000/-ක දඩයක් නියම කෙරුණා.

යතුරුපැදියක් මිලදී ගැනීමට පෙර එහි මිල ගණන් නිසි පරිදි පරීක්ෂා කරන්න. ඉහළ ඉල්ලුම හෝ සීමිත සැපයුම අවස්ථාවක් කරගනිමින් පාරිභෝගිකයින්ගෙන් අසාධාරණ ලෙස වැඩි මුදලක් අය කරන හෝ මිල ගණන් ප්‍රදර්ශනය නොකරන වෙළෙඳුන් පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website