සත්ත්ව පනත සහ සත්ත්ව සුභසාධන පනත පටලවා ගෙන මහා අවුලක් ඇති වෙලා – ඇමැති ලාල් කාන්ත

1958 අංක 29 දරන සත්ත්ව පනත සහ සත්ත්ව සුභසාධන පනත පටලවා ගෙන සමාජය තුළ විශාල කැළඹීමක් සිදුව ඇතැයි  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

1958 අංක 29 දරන සත්ත්ව සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දි පැවැති විවාදයේ දී විෂයභාර අමාත්‍යවරයා ලෙස කේ.ඩී. ලාල් කාන්ත මහතා මේ බව පැවසුවේය.

මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය.‍

“1958 අංක 29 දරන සත්ත්ව පනත 1964 අංක 20, 1968 අංක 10, 1988 අංක 46 සහ 2010 අංක 10 දරන පනත් වලින් සංශෝධනය වුණා. ඊට පසුව තමයි අද අපි විවාදයට ගන්නා මේ සංශෝධනය සිදුවෙන්නේ.

මේ සංශෝධනය අද පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන අවස්ථාවේ පාර්ලිමේන්තුවෙන් පිටත සමාජය තුළ සාකච්ඡාවක් ගොඩනැගිලා තිබෙනවා. අද විවාදයට ගන්නා වූ සත්ත්ව පනත (සංශෝධන), සත්ත්ව සුභසාධන පනත යැයි ඔවුන් පටලවා ගෙන තිබෙනවා. සත්ත්ව සුභසාධන පනත කියන එක කාලයක් තිස්සේ සාකච්ඡා වෙමින් තිබෙන එකක්. එම පනතක් අවශ්‍යයි කියලා බොහෝ කාලයක් සමාජය තුළ සාකච්ඡා වෙනවා. එය පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කළත් ක්‍රියාත්මක නොවුණ පනතක්. සත්ත්ව සුභසාධන පනත තමයි සමාජය තුළ දැවැන්ත විවාදයක් ඇති කරලා තිබෙන්නේ. අපි මේ වන විට සත්ත්ව පනත් කෙටුම්පත ගැසට් කරලා තිබෙනවා. මේ පනත් දෙක සම්බන්ධයෙන් සමාජය තුළ විශාල පටලවා ගැනීමක් තිබෙන නිසයි මගේ කතාව ආරම්භයේ දීම මේ පැහැදිලි කිරීම කරන්නේ.

අද අපි සංශෝධනය කරන්නේ සත්ත්ව සුභසාධනය සම්බන්ධ කාරණයක් නොවෙයි. අද කතා කරන්නේ සත්ත්ව පනත ගැන. සත්ත්ව සුභසාධන පනත ගැන විවිධ මත පළ වෙනවා. දැනට ඉදිරිපත් කර තිබෙන, අපි ගැසට් කරලා තිබෙන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ වන විට විවිධ පාර්ශ්වයන් විරෝධතා පැන නැගිලා තිබෙනවා.

ඒ පාර්ශ්වයන් අපිත් එක්ක, ඒ කියන්නේ විෂයභාර අමාත්‍යවරයා එක්ක, නියෝජ්‍ය අමාත්‍යවරයා එක්ක, අමාත්‍යාංශයත් එක්ක තව දුරටත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට අවශ්‍යයි කියලා දැනුම් දී තිබෙනවා. ඒ අනුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා ගණනාවක් ඉදිරි දිනවල දී යොදා ගෙනත් තිබෙනවා.පෙරහැර පැවැත්වීම සම්බන්ධ ගැටලු, විශේෂයෙන් අලි ඇතුන් සම්බන්ධ ප්‍රශ්නය තමයි බරපතළ ලෙස ඉදිරියට ගෙනත් තිබෙන්නේ.

ඒ අනුව මේ පනත් කෙටුම්පත ගැසට් කරලා තිබුණත් ඒ පිළිබඳ පුළුල් සාකච්ඡාවක් පවත්වන අපි තීරණය කරලා තිබෙනවා. ඒ සාකච්ඡාවෙන් පසුව තමයි සත්ත්ව සුභසාධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට බලාපොරොත්තු වෙන්නේ. අද අපි කතා කරන්නේ ගෙන ඒමට නියමිත සත්ත්ව සුභසාධන පනත් කෙටුම්පත ගැන නෙමෙයි, 1958 අංක 29 දරන සත්ත්ව පනත ගැනයි”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website