පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් දිවයින පුරා ඖෂධ සැල් වැටලීම් 471ක්

පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් පසුගිය අගෝස්තු 03 සහ 04 යන දෙදින තුළ දිවයින පුරා විශේෂ ඖෂධ සැල් වැටලීම් සහ විමර්ශන වැඩසටහනක් සාර්ථකව ක්‍රියාත්මක කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

මෙම විශේෂ මෙහෙයුමේදී ඖෂධ සැල් 109ක් පරීක්ෂාවට ලක් කළ අතර, සාර්ථක වැටලීම් 86ක් සිදු කර ඇත.

මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ 2026 ජනවාරි 01 සිට ජූනි 30 දක්වා දිවයින පුරා ඖෂධ සැල් 362ක වැටලීම් සහ විමර්ශන සිදු කර ඇති අතර, මෙම සතියේ විශේෂ මෙහෙයුම සමඟ 2026 වසරේ මේ දක්වා විශේෂ ඖෂධ සැල් වැටලීම් 471ක් ක්‍රියාත්මක කර ඇති බවයි.

එම කාලය තුළ පවරන ලද නඩු සඳහා අධිකරණ මගින් රුපියල් 2,269,500.00ක දඩ මුදලක් නියම කර ඇති බව හෙළි කළ අධිකාරිය මෙම විමර්ශනවලදී, කල් ඉකුත් වූ ඖෂධ සහ ඖෂධීය නිෂ්පාදන අලෙවිය සඳහා තබා ගැනීම, පාරිභෝගිකයාට අනිවාර්ය තොරතුරු නොමැති ඖෂධ අලෙවි කිරීම, නියමිත පාරිභෝගික තොරතුරු ඇතුළත් කිරීමේ නීති උල්ලංඝනය කිරීම, ඖෂධ, වෛද්‍ය උපකරණ, ළදරු නිෂ්පාදන සහ අනෙකුත් පාරිභෝගික භාණ්ඩ සම්බන්ධයෙන් නීති උල්ලංඝනය කිරීම් රැසක් අනාවරණය වූ බව ද පවසයි.

මෙහිදී කල් ඉකුත් වූ ඖෂධ, පෙති, එන්නත්, සිරින්ජ, ක්‍රීම් වර්ග, ළදරු නිෂ්පාදන, ගර්භණීභාවය පරීක්ෂා කිරීමේ කට්ටල, වෛද්‍ය උපකරණ සහ තවත් විවිධ පාරිභෝගික භාණ්ඩ අත්අඩංගුවට ගෙන අදාළ මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.

ඖෂධ හෝ සෞඛ්‍ය ආශ්‍රිත නිෂ්පාදන මිලදී ගැනීමේදී කල් ඉකුත් වන දිනය, ලේබලය සහ අනෙකුත් අනිවාර්ය පාරිභෝගික තොරතුරු හොඳින් පරීක්ෂා කර මිලදී ගන්නා ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සියලුම පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.

මූලාශ්‍රය – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිල ෆේස්බුක් පිටුව

ඉහළ ඡායාරූපය AI තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද ඡායාරූපයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website