දේශීය නාඩු සහල් සඳහා රජය විසින් නියම කර තිබූ උපරිම සිල්ලර මිල (පාලන මිල) වන රුපියල් 230/- ඉක්මවා සහල් අලෙවි කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ නීතිරීති සහ විධානයන් උල්ලංඝනය කළ ගම්පොළ, රෝහල් පාරේ පිහිටි සුපිරි වෙළෙඳසැලකට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මහනුවර දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් 2026.06.23 දින සිදුකළ වැටලීමක දී, මෙම සුපිරි වෙළඳසැල තුළ රුපියල් 230ක පාලන මිල පැවති දේශීය නාඩු සහල් කිලෝවක් රුපියල් 240ක වැඩි මිලට පාරිභෝගිකයින්ට අලෙවි කිරීමේ චෝදනාව අනාවරණය කරගනු ලැබුවා.
පසුගිය 14 වන දින මෙම නඩුව ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, අදාළ චෝදනාවට වරද පිළිගත් බැවින් විත්තිකාර සමාගමට රුපියල් 500,000ක දඩ මුදලක් නියම කිරීමට අධිකරණය පියවර ගත්තා.
පාරිභෝගිකයිනි, අවධානයෙන් සිටින්න! පාලන මිල ඉක්මවා, බාල ප්‍රමිතියේ හෝ කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳුන් පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ වහාම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන්න.
















