ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරිත්වය සහ එය ස්ථාපිත කිරීමේ ක්‍රමවේදය පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් කොළඹ – 10, අල් හිදායා විද්‍යාලයේදී පසුගියදා පැවැත්විණි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සහ අල් හිදායා විද්‍යාලය එක්ව සංවිධානය කළ මෙම වැඩමුළුව, විද්‍යාලයේ විදුහල්පතිනි ඒ.එෆ්. සරූක් මහත්මිය සහ පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ සමන්ත මල්ලවආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රධාන පුස්තකාලයාධිපති එස්.එල්. සියාද් අහමඩ් මහතා විසින් පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටි, පාර්ලිමේන්තුවේ කාර්යභාරය සහ එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සිසුන් වෙත පුළුල් පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.
එමෙන්ම, පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා නිලධාරී ඒ.එස්.එම්. යස්රි මහතා විසින් ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ කාර්යභාරය, එහි ක්‍රියාකාරිත්වය සහ ශිෂ්‍ය පාර්ලිමේන්තුවක් ස්ථාපිත කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ප්‍රායෝගික උදාහරණ සහිතව සිසුන් දැනුවත් කරන ලදී.
මෙම වැඩමුළුව සඳහා ගුරුවරුන් සහ සිසුන් ඇතුළු පිරිසක් සහභාගී වූ අතර, පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටි සහ ශිෂ්‍ය පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් ඔවුන්ට පැවති ගැටලු හා සැකසංකා පිළිබඳව ද මෙහිදී පැහැදිලි කර ගැනීමට අවස්ථාව හිමි විය.













