වැඩි මිලට කීරි සම්බා සහල් අලෙවි කළ බේරුවල Lanka Super City ආයතනයට රුපියල් මිලියනයක දඩයක්

දේශීය කීරි සම්බා සහල් සඳහා නියම කර තිබූ උපරිම සිල්ලර මිල (පාලන මිල) රුපියල් 260/- ඉක්මවා සහල් අලෙවි කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ නීතිරීති සහ විධානයන් උල්ලංඝනය කළ බේරුවල, ගාලු පාරේ පිහිටි “ලංකා සුපර් සිටි පුද්ගලික සමාගම” (Lanka Super City Pvt Ltd) ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කළුතර දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී, මෙම සුපිරි වෙළඳසැල තුළ රුපියල් 260/- ක උපරිම සිල්ලර මිල පැවති දේශීය කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 355/- බැගින් (5kg ඇසුරුමක් රුපියල් 1,775/- කට) වැඩි මිලට පාරිභෝගිකයින්ට අලෙවි කිරීමේ චෝදනාව අනාවරණය කරගනු ලැබුවා.

මෙම නඩුව කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, අදාළ චෝදනාවලට වරද පිළිගත් බැවින් විත්තිකාර පාර්ශවයට 2026.07.17 දින රුපියල් 1,000,000 ක (මිලියනයක) දඩ මුදලක් නියම කිරීමට ගරු අධිකරණය පියවර ගත්තා.

පාරිභෝගිකයින් රවටමින් පාලන මිල ඉක්මවන, බාල ප්‍රමිතියේ හෝ කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳුන් පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ වහාම පාරිභෝගික අධිකාරිය වෙත දැනුම් දෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website