වංචාසහගත ලෙස අස්වැසුම ප්රතිලාභීන්ගේ මුදල් වංචා කිරීමක් සිදුවන බවට වාර්තා වී ඇතැයි සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
සුබසාධක ප්රතිලාභ මණ්ඩලය සඳහන් කරන්නේ මේ වන විට දිවයිනේ බොහෝ ප්රදේශයන් හී විවිධ පුද්ගලයින් විසින් විවිධ දුරකථන අංක මගින් අස්වැසුම ප්රතිලාභීන් අමතා ප්රධාන කාර්යාලයේ නිලධාරීන් යැයි පවසා දුරකථන ඇමතුම් ලබා දෙන බවය.
මේ ආකාරයෙන් දුරකථන ඇමතුම් ලබා දී තොරතුරු යථාවත් කිරීමේ ක්රියාවලිය බව පවසා හෝ වෙනත් හේතුවක් සඳහන් කරමින් ඒ වෙනුවෙන් එම ඇමතුම ලබා දෙන පාර්ශ්වයට මුදල් ගෙවීමක් සිදුකරන ලෙස ඉල්ලීම් කර ඇතැයි මේ වන විට වාර්තා වී ඇති බව ද එම නිවේදනයේ සඳහන් වේ.
මෙය වංචනික ක්රියාවක් බවත් එවැනි දුරකථන ඇමැතුම් ලැබෙන්නේ නම් පොලීසියට පැමිණිලි කරන ලෙසත් නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.












