SLS භාණ්ඩ සහතික ලාංඡනය නොමැති දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය, ඇසිරීම, බෙදාහැරීම, ප්රවාහනය, ගබඩා කිරීම සහ අලෙවිය 2026 ඔක්තෝබර් 8 වැනිදා සිට තහනම් වන බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 12(2) වැනි වගන්තිය යටතේ මෙම විධානය නිකුත් කර ඇත.
ආනයනය කරන සනීපාරක්ෂක තුවා ද ශ්රී ලංකා ප්රමිති ආයතනය විසින් ක්රියාත්මක කරන ආනයන ප්රමිතිකරණ හා තත්ත්ව පාලන පරීක්ෂණ ක්රමවේදය යටතේ පරීක්ෂා කර අනුමත කර නොමැති නම්, ඒවා ආනයනය කිරීම, බෙදාහැරීම, ගබඩා කිරීම හෝ අලෙවි කිරීම ද තහනම් වන බව අධිකාරිය සඳහන් කළේය.
ශ්රී ලංකා ප්රමිති ආයතනය විසින් නිකුත් කරන SLS භාණ්ඩ සහතික ලාංඡනය දරන්නේ නම් පමණක් එම නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කළ හැකි අතර මෙම නියෝගය එක්වරක් පමණක් භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා (SLS 1732) සහ එක්වරක් පමණක් භාවිත කළ හැකි සිහින් සනීපාරක්ෂක තුවා (SLS 1748) සඳහා අදාළ වන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
ශ්රී ලංකා ප්රමිති ආයතනය විසින් අදාළ ප්රමිතීන්ට ඉදිරියේදී සිදුකරන සියලු සංශෝධන සඳහා ද මෙම විධානය බලපැවැත්වෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.















