මීගමුව බන්ධනාගාරයේ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් අධිකරණ ඇමැතිගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්

මීගමුව බන්ධනාගාරයේ පසුගිය 05 සහ 06 යන දින වල ඇති වූ මාරාන්තික ප්‍රචණ්ඩත්වය නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ප්‍රතිවාදී කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් හේතුවෙන් ඇති වූවක් විය හැකි බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අද (පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේය.

සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ තවමත් සිදුවෙමින් පවතින බවත් අවසන් නිගමනවලට එළඹ නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ජූලි 5 වන දින රැඳවියන් කණ්ඩායම් දෙකක් අතර මුල් ගැටුම ඇති වූ බවත් එහි දී සිරකරුවන් දෙදෙනෙකු මිය ගොස් තවත් 35 දෙනෙකු තුවාල ලැබූ බව අමාත්‍යවරයා පැවසීය. එදින සවස සාමය යථා තත්ත්වයට පත් කිරීමට බලධාරීන්ට හැකි වූ නමුත්, උදෑසන ආහාරයෙන් පසු සිරකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සූදානම් වෙමින් සිටියදී යළි ප්‍රචණ්ඩත්වය ඇති වූ බව අධිකරණ අමාත්‍යවරයා පැවසුවේය.

“බන්ධනාගාර බලධාරීන් සැක කරන්නේ මත්ද්‍රව්‍ය සහ වෙනත් තහනම් ද්‍රව්‍ය බන්ධනාගාරයට ප්‍රවාහනය කිරීම වැළැක්වීම සඳහා නිලධාරීන්ට තොරතුරු ලබා දුන් රැඳවියන් සමඟ මෙම ආරවුල සම්බන්ධ වී ඇති බවයි. එවැනි රැඳවියන් බොහෝ විට අපරාධ කණ්ඩායම් විසින් ඉලක්ක කරනවා. මෙම ප්‍රහාරය පිටුපස ඇති එක් චේතනාවක් මෙය විය හැකියි“ අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ දක්වා කරන ලද පරීක්ෂණවලින් ඉහත දක්වන ලද තොරතුරු හෙළි වී ඇතැයි කී අධිකරණ අමාත්‍යවරයා අවසාන නිගමන අඛණ්ඩ පරීක්ෂණවල ප්‍රතිඵල සහ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද කමිටුවේ වාර්තාව මත රඳා පවතින බව ද කීවේය.

“ප්‍රචණ්ඩත්වය අතරතුර කුඩා සංවිධානාත්මක කණ්ඩායමක් හිතාමතාම CCTV කැමරා සහ ශරීර ස්කෑනරයක් විනාශ කර තිබෙනවා. එය බන්ධනාගාරයට ඇතුළු වන නීති විරෝධී ද්‍රව්‍ය වැළැක්වීම සඳහා භාවිතා කරන ආරක්ෂක පද්ධති අක්‍රීය කිරීමට ගත් උත්සාහයක් ලෙස සැලකිය හැකියි. ඒ වගේම මේ සිද්ධියට බන්ධනාගාරයේ සිටි සියලුම රැඳවියන් සම්බන්ධ වුණේ නැහැ. සැලකිය යුතු පිරිසක් ඉන් ඈත්ව සිටියා. නමුත් තුවාල ලැබූ රැඳවියන් අතර ගැටුමට කිසිම සම්බන්ධයක් නැති පිරිසක් ද සිටිනවා. ඒ වගේම මැදිහත් වීමට උත්සාහ කළ නිරායුධ බන්ධනාගාර නිලධාරීන් ප්‍රහාරයට ලක් වුණා. තම සගයන් ආරක්ෂා කිරීමට උත්සාහ කිරීමේදී නිලධාරීන් කිහිප දෙනෙකු මිය ගියා. ගැටුම අතර තුර රැඳවියන් පිරිසක් යකඩ ගේට්ටුවක් කඩා වෙනත් පිටවීමක් දෙසට ගමන් කිරීමට උත්සාහ කළා. ඔවුන් බන්ධනාගාරයෙන් පැන ගියේ නම් එය මහජන ආරක්ෂාවට බරපතල තර්ජනයක් විය හැකි හැකිව තිබුණා. නමුත් එය තත්ත්වය පාලනය කර ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත් වුණා. ඒ වගේම තවත් වැදගත් කරුණක් වෙත අවධානය යොමු වෙලා තිබෙනවා. මෙම නොසන්සුන්තාව අතරතුර සමහර රැඳවියන් ආයුධ ළඟ තබා ගත්තේ කෙසේද යන්න තීරණය කිරීම සඳහා ද පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඒ අනුව තවත් කරුණු ගණනාවක් හෙළිකර ගැනීමට හැකිවෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා” අධිකරණ අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website