2023 වසරේ පැවති දකුණු පළාත් ගුරු විභාගයෙන් සමත්ව, සම්මුඛ පරීක්ෂණයට මුහුණදී එහෙත් පසුව බඳවා ගැනීම අත්හිටුවීමට ලක්වූවන් පිරිසකගේ නියෝජිතයන් පසුගියදා අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට කැඳවා තිබිණි.
එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා විය.
දකුණු පළාතේ ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට අදාළව විභාගය පවත්වා බඳවා ගැනීම් සිදුකර, එම විභාගයෙන්ම තවදුරටත් තනතුරු 704කට බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබිණි. එහෙත් 2025 ජූනි මාසයේ ගත් අමාත්‍ය මණ්ඩල තීරණයක් මත සියලු බඳවා ගැනීම් නතර වී ඇති අතර එමගින් ඉහත සම්මුඛ පරීක්ෂණයට ලක්වූ පිරිසට බලවත් අසාධාරණයක් සිදුව ඇති බව කාරක සභාවට සහභාගීව සිටි නියෝජිත පිරිස සඳහන් කළහ.
මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් කාරක සභාවට කැඳවා තිබිණි. මේ වන විට දකුණු පළාතේ ගුරු පුරප්පාඩු 1417ක් සඳහා බඳවා ගැනීම් සිදු කිරීමට අවසර ලබාදී ඇති බවත් එහෙත් එම අවසරය ඇත්තේ 2023 පැවති විභාගයෙන් අනතුරුව පැවති තරග විභාග දෙකක් සදහා පමණක් බවත් ඔවුහු සඳහන් කළහ.
අවස්ථා කිහිපයකදීම මෙම පුරප්පාඩු 704 බඳවා ගැනීම සදහා වෙනම අනුමැතියක් ලබා දෙන ලෙස ඉල්ලීම් කළද එය සාර්ථක නොවූ බව නිලධාරීහු ප්‍රකාශ කළහ. ඒ අනුව දීර්ඝ කරුණු විමසීමකින් අනතුරුව මෙම පිරිසට සාධාරණයක් ඉෂ්ට විට යුතු බව පෙන්වා දුන් කාරක සභාව ඒ සඳහා නිලධාරීන්ගේ පාර්ශ්වයේ යෝජනා කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසත් ඒ අනුව ඉදිරියේදී නැවතත් මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත් දැනුම් දුන්නේය.
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ට තරග විභාගයකින් තොරව ගුරු පත්වීම් ලබා නොදීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීම සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් කළ ඉල්ලීමට අනුව එම නියෝජිත පිරිසක් කාරක සභාවට කැඳවා තිබිණි. නිලධාරීන් ඉදිරිපත් කළ තොරතුරු අනුව, මෙම ගැටලුව සම්බන්ධයෙන් කළමණාකාර සේවා දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කිරීමටත්, ඒ අනුව ඉදිරියේදී මේ පිළිබඳව නැවත සලකා බැලීමට කටයුතු කරන බවත් කාරක සභාව විසින් දැනුම් දෙන ලදී.
මීට අමතරව 2008/2009 වසරවල සේවයට බඳවාගත් පාසැල් රසායනාගාර සේවකයන් සහ පාසැල් මුරකරු පිරිසකගේ වැටුප් වර්ධක 2018 වසරේ සිට අත්හිටුවීම පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ඡා විය. එම අසාධාරණයට ලක්වූවා යැයි කියන පිරිසේ නියෝජිතයන් කාරක සභාවට කැඳවා තිබිණි.
2018 වසරේ සිට වැටුප් වර්ධක ලබාදීම නතර කිරීමට හේතු වශයෙන් දක්වා ඇත්තේ 2008/2009 වසරවල ඔවුන් සේවයේ පිහිටුවීමේදී දකුණු පළාත් සභාව වැරදි වැටුප් පරිමාණයක පිහිටුවා වැටුප් ගෙවීමයි. ඒ අනුව අදාළ අනුමතිය ලබා දුන් නිලධාරීන්ට එරෙහිව පියවර ගැනීම වෙනුවට වසර 10කට පසු සේවකයන්ගෙන් එම මුදල් අය කර ගැනීම සඳහා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා විය. මේ අනුව මේ පිළිබඳව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට ලබා දිය හැකි හොඳම සාධාරණ යෝජනා කාරක සභාවට යොමු කරන ලෙසත්, ඒ අනුව සාධාරණ විසඳුමක් ලබාදීමට මැදිහත්වන බවත් කාරක සභාව විසින් දැනුම් දෙන ලදී.
අනතුරුව කාරක සභා සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතා විසින් කාරක සභාවේ මුලසුන හොබවන ලද අතර කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාද් උපාධි ආයතනයේ 2022 හා 2023 වර්ෂවලට අදාළ වාර්ෂික වාර්තා, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පශ්චාද් උපාධි ආයතනයේ 2022 සහ 2023 වර්ෂවලට අදාළ වාර්ෂික වාර්තා සහ ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ 2022 සහ 2023 වර්ෂවලට අදාළ වාර්ෂික වාර්තා මෙහිදී සලකා බැලීමෙන් අනතුරුව අනුමැතිය ලබා දීම සිදුවිය.
කාරක සභා සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය වී.එස් රාධක්‍රිෂ්ණන්, අබූබකර් අතම්බාවා, ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි, නීතීඥ නිලූෂා ලක්මාලි ගමගේ, සුගත් වසන්ත ද සිල්වා, සුජීව දිසානායක, චානක මාදුගොඩ, සංජීව රණසිංහ සහ තුරෛරාසා රවිකරන් යන මහත්ම මහත්මීහු ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.















