බදු ශක්ති 2026 හුදෙක් බදු එකතු කිරීමේ ව්‍යාපාරයක් නොව, එය රටට ආදරය කරන සහ වගකීම් සහගත පුරවැසියන් බිහි කරන ජාතික වැඩසටහනක්
රාජ්‍ය ආදායම් උත්පාදනය ශක්තිමත් කිරීම සහ රටේ ඉදිරි සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම අරමුණු කරගනිමින්, ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශය (RARMB) විසින් සංවිධානය කරනු ලබන “බදු ශක්ති 2026” ජාතික බදු සතියේ සමාරම්භක අවස්ථාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
බදුකරණය සම්බන්ධයෙන් මහජනතාව තුළ පවතින සෘණාත්මක ආකල්ප ධනාත්මක ආකල්ප බවට පරිවර්තනය කරමින්, ස්වේච්ඡාවෙන් බදු ගෙවන සංස්කෘතියක් රට තුළ බිහි කිරීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක “බදු ශක්ති 2026” වසර පුරාම අඛණ්ඩව ක්‍රියාත්මක වන වැඩසටහනක් වන අතර එහි සමාරම්භය සනිටුහන් කෙරෙන විශේෂ ජාතික බදු සතිය අද (06) සිට ජූලි මස 10 වනදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මක වේ.
ඊට සමගාමීව මාධ්‍ය සහ ප්‍රවර්ධන වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරෙන අතර අත් පත්‍රිකා බෙදා හැරීම ආදී විවිධ ප්‍රචාරණ වැඩසටහන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරමින් බදු අනුකූලතාව වර්ධනය කිරීම වෙනුවෙන් මහජනතාව සෘජුවම දැනුවත් කිරීම සිදු කෙරේ.
මෙම සමාරම්භක අවස්ථාව ඇමතූ කථානායක ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ “බදු ශක්ති 2026” යනු හුදෙක් බදු එකතු කිරිමේ ව්‍යාපාරයක් නොව, එය රටට ආදරය කරන සහ වගකීම් සහගත පුරවැසියන් බිහි කරන ජාතික වැඩසටහනක් බවයි.

අද කිසිවෙකුගෙන් ණය ලබා නොගෙන, දේශීය අරමුදල් යොදවමින්ර රටේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කර තිබෙනවා – කථානායක ජගත් වික්‍රමරත්න
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ කථානායක ජගත් වික්‍රමරත්න මහතා,
අද දිනය අපේ රටේ අනාගත සංවර්ධනය සහ ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ඉතාම තීරණාත්මක පියවරක් තබන දිනයක්. ඕනෑම ස්වෛරී රාජ්‍යයක පැවැත්ම සහ ශක්තිය තීරණය වන්නේ ඒ රටේ තිබෙන ආර්ථික ස්වාධීනත්වය මතයි. රාජ්‍ය ආදායම් උත්පාදනය සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට ප්‍රධාන මෙවලමක් වන්නේ බදුකරණයයි.
හැබැයි බොහෝ විට ජනතාව තුළ බදු පිළිබඳ තිබෙන්නේ සෘණාත්මක ආකල්පයක්. ඒ සෘණාත්මක ආකල්පය ජනතාවට ලබා දෙන ලද්දේ බදු එක් රැස්කරන අය සහ පාලකයන් විසින්. එහෙත් ජනතාවට ජාතිකත්වය යන හැගීම ලැබුණු දාට ජනතාව වෙනස් වීමට පටන් ගන්නවා. ජනතාව හිතුවේ බදු කියන්නේ බරක් කියලා. විශාල ප්‍රමාණයන්ගෙන් බදු පැහැර හැරීම් සිදු වූ බව අපි ඉතිහාසය පුරා අත් දුටුවා. ඒ සඳහා දේශපාලන ආශිර්වාදය ලැබුණු බව අකමැත්තෙන් වුවද ප්‍රකාශ කළ යුතුයි.
ජනතාව ගෙවන බදු මුදල්වලට වුණේ මොකක්ද කියලා එදා ජනතාව දන්නේ නැහැ. බදු ගෙවන ජනතාවට පැහැදිලි දැක්මක් තිබුණේ නැහැ. මෙම තත්ත්වය වෙනස් කරමින් බදු ගෙවීම පිළිබඳ ජනතාව තුළ ධනාත්මක ආකල්පයක් ඇති කිරීමට මේ වන විට වත්මන් රජය සමත් වී තිබෙනවා. රජය රට වෙනුවෙන් ඉටු කරන වැඩපිළිවෙළ සඳහා දායක වෙමින්, බදු ගෙවන ජනතාවට මම මේ අවස්ථාවේ මගේ ගෞරවය පුද කරනවා.
ගෙවන මුදලට ප්‍රතිලාභයක් ලැබෙන බවට අද ජනතාව තුළ විශ්වාසයක් තිබෙනවා. අද රටේ අධිවේගී මාර්ග, මහාමාර්ග, විදුලි සම්පාදන ව්‍යාපෘති දේශීය අරමුදල් යොදවමින් ක්‍රියාත්මක වෙනවා. කිසිවෙකුගෙන් ණය ලබා නොගෙන මහනුවර අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කර තිබෙන බවට අද ජනතාව තුළ ආඩම්බරයක් තිබෙනවා. කුරුණෑගල- ගලේවෙල මාර්ගයේ වැඩ ආරම්භ කිරීමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. විදේශ රටවලට ණය වෙන්නේ නැතිව දේශීය මුදල් යොදවමින් සංවර්ධන කටයුතු සිදු කෙරෙන රටක් ලෙස අද අපි ශක්තිමත් වී තිබෙනවා.
අතීතයේ මහා දාගැබ්, වැව් අමුණු නිර්මාණය වුණේ සියලු දෙනාගේ දායකත්වයෙන්. මේ රට සංවර්ධනය කරමින් සමෘද්ධිමත් දේශයක් බවට පත් කළ හැකි වන්නේ සාමුහිකත්වයෙන් පමණයි. ඒ වගේම අද බදු වශයෙන් එකතු කරන මෙම මුදල් රටේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා යොදවනවා. දිට්වා සුළි කුණාටුව හමුවේ කෝටි 50,000ක් වෙන් කරමින් එය පෙන්නුම් කළා. ඒ වගේම ජනාධිපති අරමුදලින් අද ජනතාවට විශාල වශයෙන් ප්රතිලාභ සලසා තිබෙනවා. අස්සක්, මුල්ලක් නෑර සිටින අධ්‍යාපනය ලබන දරුවන්ට සහන සලසනවා. මේ සියල්ල දේශීය අරමුදල් යොදා ගනිමින් සිදු කරන කටයුතු.
බදු මුදලින් සැලසෙන ප්රතිලාභ, ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති මේ සියල්ල පිළිබඳ සැබෑ තොරතුරු රටේ ජනතාව අතරට ගෙන යාම අවශ්‍යයි. ඒ නිසා මෙම බදු මුදල් භාවිතයේ විනිවිදභාවය පිළිබඳ රටේ ජනතාව තුළ තහවුරුවක් ඇති වෙනවා. එය ඉතා වැදගත්. ඒ නිසා මෙම ජාතික වැඩසටහනින් අපි අපේක්ෂා කරන්නේ බදු පදනම පුළුල් කර ගැනීමයි. බදු අනුකූලතාව වැඩි කර, බදු පැහැර හැරීම් අවම කර ගැනීම වෙනුවෙන් ජනතාව තුළ ධනාත්මක ආකල්පයක් ගොඩනැගීමට මෙයින් අපේක්ෂා කරනවා. පොදුවේ සියලු දෙනා බදු ගෙවනවා නම් අනෙකා මත පැටවෙන බදු බර අඩු කර ගැනීමට හැකියාව තිබෙනවා.
මී මැසි ජනපදයක් හදන්න අපි එක මී මැස්සෙකුට කියන්නේ නැහැ. මී මැස්සෝ දහස් ගණනක් එක්ව එම මී මැසි ජනපදය නිර්මාණය කරනවා. එය ඉතා ශ්‍රේෂ්ඨ නිර්මාණයක් බවට පත් වෙනවා. එය තනි මී මැස්සෙක් කරන දෙයක් නොවෙයි. සමස්ත මී මැසි ප්‍රජාව විසින් නිර්මාණය කරන ලද්දක්. ඒ නිසා බදු ශක්ති 2026 යනු හුදෙක් බදු එකතු කිරිමේ ව්‍යාපාරයක් නොවෙයි, එය රටට ආදරය කරන සහ වගකීම් සහගත පුරවැසියන් බිහි කරන ජාතික වැඩසටහනක්. මෙම උදාර කාර්යභාරය සාර්ථක කර ගැනීමට කැප වූ සියලු දෙනා වෙත මාගේ ස්තූතිය පිරිනමනවා.

කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා
රටේ පුරවැසියන් ලෙස බදුකරණය පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීමෙන් රට ආර්ථික සහ සමාජයීය පරිවර්තනයක් කරා ගෙන යන ගමනට අපේ දායකත්වය ඉතා ඉහළින් ලබා දිය හැකියි. පුරවැසියන් ලෙස අපි සියලු දෙනාට පුද්ගලික අරමුණු සහ වැඩකටයුතු බොහොමයක් තිබෙනවා.
හැබැයි අපි හිතුවට එම පුද්ගලික අරමුණු තනි තනිව ඉටු කර ගත හැකියි කියලා එම බොහෝ ප්‍රමාණයක් තනිව ඉටු කර ගත නොහැකියි. පොදු සමාජයක සාර්ථකත්වය රඳා පවතින්ගේ සහයෝගය මතයි.
අද බදු ගෙවීම සරල ක්‍රියාවලියක් බවට පත් කර තිබෙනවා. ඒ නිසා බදු අය කර ගැනීමේ ක්‍රමවේදය අද නිසි ලෙස සිදු වෙනවා. ඒ වගේම සාධාරණ ලෙස අය කර ගන්නා එම මුදල ඉතා අරපිරිමැස්මෙන් සමාජයේ යහපත වෙනුවෙන් භාවිත කරන්නේ කොහොමද කියන වගකීම රජය හඳුනාගෙන තිබෙනවා. එම මූල්‍ය විනය නිසි ලෙස පෙන්විය නොහැකි වුවහොත් ජනතාව බදු ගෙවන්නේ නැහැ. අතීතයේ එය සිදුව තිබෙනවා. ඒ නිසා ඉහළ මූල්‍ය විනයකින් යුතුව බදු අය කර ගැනිමේ ක්‍රියාවලිය රජය ආරම්භ කර තිබෙනවා. වංචාවට දූෂණයට, නාස්තියට අපි ඉඩ තබන්නේ නැහැ. ඒ නිසා රට හදන්න නම් අපි හැම දෙනාම හැඟීමෙන් යුතුව මෙම කටයුත්තට දායක විය යුතුයි. එය නීතියෙන්ම සිදු විය යුතු නැහැ. ඒ නිසා රටේ සියලු ජනතාව තම වගකීම නිසි ලෙස ඉටු කරයි කියලා අපි විශ්වාස කරනවා.
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර, රේගු අධ්යක්ෂ ජනරාල් විමල් ලියනගම, සුරාබදු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහුද මෙහිදි අදහස් දැක්වූහ.
ජනාධිපති මහජන සම්බන්ධතා අධ්යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ මහතා සහ ජනාධිපති කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද, බදු ගෙවන්නන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
















