ආහාර ද්‍රව්‍ය ආනයනයේදී සිදුවන ප්‍රමාදයන් මඟහරවා පාරිභෝගිකයා සුරැකීමට කඩිනම් පියවර

ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේදී රේගු නිෂ්කාශනය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, නිරෝධායන අංශ සහ ආහාර පාලන ඒකකය වැනි ආයතන හරහා භාණ්ඩ පරීක්ෂාවට ලක් වීමේදී ආනයනකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේදී පැවැත්විණි.

අමාත්‍යාංශ ලේකම් කේ.ඒ. විමලේන්තිරරාජා මහතා, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩ බලන සභාපති ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරීන්ගේ සහ ආනයනකරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී පහත දැක්වෙන කරුණු වෙත අවධානය යොමු කරන ලදි.

  • ඒකාබද්ධ යාන්ත්‍රණයක්: ආයතන කිහිපයක් හරහා සිදුවන ලිපි ලේඛන පරීක්ෂාවන් කාර්යක්ෂම කර, ව්‍යාපාරිකයන්ගේ කාලය සහ මුදල් නාස්තිය අවම කිරීමට ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කිරීම.
  • කඩිනම් සාම්පල පරීක්ෂාව: පරීක්ෂණාගාර කටයුතු කඩිනම් කර බහාලුම් (Containers) වරායෙන් නිදහස් කිරීමේ ප්‍රමාදය වැළැක්වීම. (ප්‍රමාද ගාස්තු හේතුවෙන් පාරිභෝගිකයාට සිදුවන මූල්‍යමය පාඩුව අවම කිරීම මෙහි අරමුණයි).
  • ගුණාත්මකභාවය සහ වගකීම: භාණ්ඩ අඩු මිලට ලබා දීම පමණක් නොව, පාරිභෝගිකයාට සුදුසු ඉහළ ගුණාත්මකභාවයකින් යුතු ආහාර ද්‍රව්‍ය පමණක් ආනයනය කිරීමට ආනයනකරුවන් වගබලා ගැනීම.
  • පරිභෝජනයට නුසුදුසු ආහාර වැළැක්වීම: රට තුළට නුසුදුසු ආහාර ද්‍රව්‍ය පැමිණීම වැළැක්වීමට ආනයනකරුවන්ගේ සංගමයක් ලෙස ද මැදිහත් වීම.

පාරිභෝගිකයා මෙන්ම ව්‍යාපාරිකයා ද සුරක්ෂිත කරමින් රටේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් සියලු ආයතන එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website