මහා භාරකාර දෙපාර්තමේන්තුවේ විගනකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය COPA හමුවට

මහා භාරකාර දෙපාර්තමේන්තුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා 2021 – 2023 වර්ෂවල විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාව, 2024 වර්ෂයට අදාළ විගණකාධිපති වාර්තාවේ ඇතුළත් කරුණු සහ වර්තමාන කාර්යසාධනය සලකා බැලීම සිදු විය. ඒ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදීය.

මහා භාරකාර දෙපාර්තමේන්තුවට වත්කම් ලැබෙන විවිධ මාර්ග, එම එක් එක් වත්කම් ලැබුණ දින වකවානු, එම වත්කම් පවරණු ලැබුවේ කවුරුන් විසින්ද යන්න, පැවරීමට අදාළ කොන්දේසි ආදී කරුණු ඇතුළත් වාර්තාවක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට ලබා දෙන ලෙස 2024 මැයි මස කාරක සභාව රැස් වු අවස්ථාවේ ලබා දී තිබූ නිර්දේශය සම්බන්ධයෙන් මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා විමසා සිටියේය. මේ අනුව, මේ සම්බන්ධ දත්ත ඇතුළත් වාර්තාව කාරක සභාව වෙත ලබා දුන් බව නිලධාරීහු කියා සිටියහ. එසේම මෙහිදී මහා භාරකාර දෙපාර්තමේන්තුව සතු භාර සහ බූදල් සංඛ්‍යාව සම්බන්ධයෙන්ද කාරක සභාවට වාර්තාවක් ලබා දෙන ලෙස කාරක සභාව විසින් නිර්දේශ කරන ලදි.

ගාල්ල බද්දේගම, සුදුවැලිපොත පිහිටි හැරී හපුගොඩ බූදලයට අයත් අක්කර 113ක භූමි ප්‍රමාණය ‍බදු දීම සඳහා ටෙන්ඩර් කැඳවීම සම්බන්ධයෙන් කාරක සභාව නිලධාරීන්ගෙන් විමසීය. එහිදී තක්සේරු වටිනාකමට වඩා වැඩි වටිනාකමකට මේ වන විට ටෙන්ඩරයක් ලැබී ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ. මීට අමතරව මෙම ඉඩමේ කොටස් විවිධ පාර්ශ්ව විසින් අනවසරයෙන් භුක්ති විඳිමින් සිටින බව ද මෙහිදී අනාවරණය විය. 

රිච්මන්ඩ් කාසල් ගොඩනැගිල්ලේ නඩත්තු කටයුතු පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු වූ අතර ජූලි මාසය වන විට මෙම ගොඩනැගිල්ලේ නවීකරණ සහ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට හැකි වනු ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ. එසේම, මෙම ඉඩමේ පොල් අස්වැන්න හොඳින් පවතින බවත් එය නියමාකාරයෙන් නඩත්තු නොවන බවත් කාරක සභාවේ සමාජික මන්ත්‍රීවරු කියා සිටියහ. 

මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික වෘත්තීය අධ්‍යපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ,  කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් වන චානක මාදුගොඩ, ජේ.සී. අලවතුවල, ඔෂානි උමංගා, නීතීඥ සාගරිකා අතාවුද, ‍ටී. කේ. ජයසුන්දර, චන්දන සූරියආරච්චි, අජන්ත ගම්මැද්දගේ, ලාල් ප්‍රේමනාත්, රුවන්තිලක ජයකොඩි සහ සුනිල් රත්නසිරි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website