බෙල්ජියම සහ ලක්සම්බර්ග් රාජ්‍යයන් සමඟ ශ්‍රී ලංකාවේ වෙළෙඳ, ආයෝජන හා ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් කොළඹ වරාය නගරයේදී සංවිධානය කළ “BELGOLUX Sri Lanka Economic Forum 2026” ඊයේ (19) පැවැත්විණි.
බෙල්ජියම් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, බෙල්ගොලක්ස් ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය (BLSBC), ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා–බෙනිලක්ස් ව්‍යාපාරික කවුන්සිලය සහ කොළඹ වරාය නගරය එක්ව මෙම උපායමාර්ගික ආර්ථික සංසදය සංවිධානය කර තිබුණේය.
ජූනි 17 සිට 21 දක්වා ශ්‍රී ලංකාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන “BELGOLUX Mission 2026” වැඩසටහනට සමගාමීව පැවැත්වෙන මෙම සංසදය, යුරෝපීය ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථා ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා වැදගත් වේදිකාවක් බවට පත්ව ඇත.
මෙහිදී බෙල්ජියම, ලක්සම්බර්ග් සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ හා ආයෝජන සබඳතා පුළුල් කිරීම, නවෝත්පාදන සහ තිරසර ආර්ථික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම මෙන්ම රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය සහ ජාත්‍යන්තර ආයෝජකයන් අතර සෘජු සම්බන්ධතා ගොඩනැගීම පිළිබඳව අවධානය යොමු කෙරිණි.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ආයෝජන ගමනාන්තයක් ලෙස තවදුරටත් ස්ථාපිත කිරීම සහ නව වෙළෙඳපොළ අවස්ථා විවෘත කිරීම සඳහා මෙවැනි ජාත්‍යන්තර ආර්ථික සම්බන්ධතා අතිශය වැදගත් බව මෙම අවස්ථාවේදී අවධාරණය කෙරිණි.








