
මහ බැංකුවේ සහ භාණ්ඩාගාරයේ ආයතනික මතභේද මැද රටට රටට අහිමි වූ ඩොලර් මිලියන 2.5: කිසිවෙකුටත් වගකීමෙන් පැන යාමට ඉඩ දිය යුතු නැත!
භාණ්ඩාගාරයේ සිදු වූ ඩො..මි. 2.5 ක මුදලක් අතුරුදන්වීම සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර ආයතනික මතභේද වර්ධනය වී ඇත. පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව මේ පිළිබඳ තොරතුරු වාර්තා කිරීම සඳහා සති හතරක කාලයක් ද, ඉන් පසුව තවත් අවස්ථා දෙකක දී සති දෙකකට වැඩි කාලයක් ද මේ ආයතන වෙත ලැබී ඇත. තොරතුරු වෙනස් කිරීම, කල් ගැනීම හා තොරතුරු සැඟවීම සඳහා එමගින් විශාල ඉඩක් නිර්මාණය වී ඇත.
ඩො.මි. 2.5 ක වංචාව සිදුවී මේ වන විට මාස 8කට වැඩි කලක් ගතවී ඇත. අද දක්වා මේ පිළිබඳ කිසිදු නිල වාර්තාවක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට ව්‍යවස්ථාදායකය අසමත්වී ඇත. පාර්ලිමේන්තුමේ මුදල් කමිටුව හරහා කාලය කා දමමින් සිදුකරන මේ නාටකීය රංගනය අවසන් කර, මීලඟ පාර්ලිමේන්තු දිනයේ දී හෝ මේ වාර්තා සභාගත කිරීම සියළු පාර්ශවයන්ගේ වගකීමකි.
ශ්‍රී ලංකාව මේ වන විට පසුවන්නේ දැඩි ආර්ථික අර්බුදයකින් පසු ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ අතිශය තීරණාත්මක සමයකය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ණය වැඩසටහනෙහි කොන්දේසියක් මත, මෙතෙක් කල් ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් සිදු කළ රජයේ ණය කළමනාකරණය කිරීමේ කටයුතු මහා භාණ්ඩාගාරය යටතේ පිහිටුවන ලද නව ආයතනයක් වන ‘රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය’ (PDMO) වෙත පැවරීම මෑතකදී සිදු විය.
“ණය කළමනාකරණය” යනු සරලවම රජය විසින් ලබා ගෙන ඇති විදේශ සහ දේශීය ණය නිසි කලට, නිවැරදි පාර්ශ්වයන් වෙත ආපසු ගෙවීමේ සහ ඒවායේ වාර්තා පවත්වා ගෙන යාමේ ක්‍රියාවලියයි. මෙම රාජකාරිය මහ බැංකුවෙන් භාණ්ඩාගාරයට මාරු වන සංක්‍රාන්ති සමයේදී නිසි පාලන ක්‍රමවේද අනුගමනය නො කිරීම සහ ආයතන දෙක අතර ඇති වූ ගැටුම් හේතුවෙන්, ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක (රුපියල් කෝටි 100 කට ආසන්න) අතිවිශාල මහජන මුදලක් වංචනිකයන් විසින් වෙනත් විදෙස් ගිණුම් වෙත හරවා ගෙන ඇත. මෙය හුදෙක් තාක්ෂණික දෝෂයක් නොව, පාලන තන්ත්‍රයේ ඇති බරපතළ අඩුපාඩුවල සෘජු ප්‍රතිඵලයකි. එක් නිලධාරිවරයෙකුගේ ජීවිතය පවා අහිමි කළ මෙම ඛේදවාචකය මූල්‍ය පාඩුවකට පමණක් සීමා වූවක් නොවේ.
Free Lawyers මැදිහත් වීම සහ පාර්ලිමේන්තුවේ නිහැඬියාව
මෙම බරපතළ මූල්‍ය වංචාව නීතිඥයන්ගේ සහ වෘත්තිකයන්ගේ එකමුතුවක් වන ‘Free Lawyers’ සංවිධානය විසින් 2026 අප්‍රේල් 22 වැනි දින ප්‍රථම වරට සමාජයට අනාවරණය කරන ලදි. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ කතානායකවරයාට නිල වශයෙන් දැනුම් දුන්න ද, අද වනතුරුත් ඒ සඳහා කිසිදු නිල පිළිතුරක් බලධාරින්ගෙන් ලැබී නොමැත. එසේම, රාජ්‍ය මූල්‍ය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (COPF) ද මේ බව ලිඛිතව දැනුම් දුන්නෙමු. අනෙකුත් ආයතන වෙත ද ලිපි හා ප්‍රසිද්ධ නිවේදන මගින් දැනුම් දී ඇත්තෙමි.
කෙසේ වෙතත්, මෙය හෙළිදරව් වීම යටපත් කිරීමේ හෝ ප්‍රමාද කිරීමේ උපක්‍රමයක් ලෙස, අදාළ රහසිගත වාර්තාව ලබා දීම සඳහා බලධාරිවරුන් මාසයක පමණ කාලයක් කල් ගෙන ඇත. ඉන්පසුව ද, අමාත්‍යාංශ ලේකම්වරයා විසින් එම වාර්තාව රාජ්‍ය මූල්‍ය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතාගේ නිවසට යවා ඇති අතර, එය නිල වශයෙන් පාර්ලිමේන්තුවට යොමු කරන ලෙස ඔහු දැනුම් දීමෙන් පසු ඒ සඳහා තවත් දින 10 කට වැඩි කලක් ගෙවී ගොස් ඇත.
මේ අනුව, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තිය යටතේ පාර්ලිමේන්තුව සතුව ඇති ‘මහජන මුදල් පාලනය කිරීමේ පරම බලය’, ගත වූ සති හතක කාලය තුළ මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනතාව වෙත කරුණු නිල වාර්තාවක් ඉදිරිපත් කිරීමට අසමත්වී ඇත. එබැවින්, ජනතාවට ඇත්ත දැන ගැනීමට ඇති අයිතිය වෙනුවෙන්, මෙම වංචාවේ සැබෑ තොරතුරු සහ වගකිව යුත්තන් රහසිගත වාර්තා ඇසුරින් මෙලෙස රටට හෙළි කිරීමට අපි තීරණය කළෙමු.
වංචාවට හේතු වූ තත්ත්වය සහ වගකිව යුතු පාර්ශ්වයන්
මෙම මහා වංචාව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ මහා භාණ්ඩාගාරය යන ආයතන දෙකම සෘජුවම වගකිව යුතු අතර, කිසිවෙකුටත් ඉන් නිදහස් වීමට ඉඩ නො දිය යුතුය:
· ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීම් පැහැර හැරීම: නව පනත මගින් ණය පාලනය භාණ්ඩාගාරයට පැවරීමත් සමඟ, තමන්ට තවදුරටත් ණය කළමනාකරණය සම්බන්ධ වගකීමක් නැති බවට මහ බැංකුව තර්ක කරයි. 2023 මහ බැංකු පනත මගින් ලැබී ඇති ස්වාධීනත්වය පලිහක් කර ගන්නා ඔවුහු, තමන් ක්‍රියා කළේ රජයේ ඉල්ලීම මත පමණක් බව පවසති. වඩාත් බරපතළම කරුණ නම්, මුදල් විශුද්ධිකරණය (කළු සල්ලි නීත්‍යානුකූල කිරීම) වැළැක්වීමේ නීති (AML/CFT) සහ රහස්‍යතා ප්‍රතිපත්ති හුවා දක්වමින්, අතිශය වැදගත් අනතුරු ඇඟවීම් සහ තොරතුරු භාණ්ඩාගාරයෙන් සඟවා තබා ගැනීමයි.
· ජාත්‍යන්තර අනතුරු ඇඟවීම් නො සලකා හැරීම: අමෙරිකාවේ ජේ.පී. මෝර්ගන් (JPMorgan) බැංකුව සහ ෆෙඩරල් රිසර්ව් (Federal Reserve) බැංකුව විසින් මෙම විදෙස් ගනුදෙනුවල ඇති සැක සහිත ස්වභාවය පිළිබඳව SWIFT පණිවිඩ මගින් පැහැදිලිව අනතුරු අඟවා තිබුණ ද, බලධාරින් ඒවා මුළුමනින්ම නො සලකා හැර මුදල් ගෙවා ඇත.
· මහා භාණ්ඩාගාරයේ කඩිමුඩිය සහ නොසැලකිල්ල: නිසි රෙගුලාසි සම්පූර්ණ කිරීමටත් පෙර, කඩිමුඩියේ මෙම ණය මෙහෙයුම් භාර ගැනීමට භාණ්ඩාගාරය කටයුතු කර තිබේ. ඔවුන්ට ණය කළමනාකරණය පිළිබඳ ප්‍රමාණවත් තාක්ෂණික දැනුමක් තිබුණේ නැත.
මහ බැංකුවට තම වසර 75ක ණය කළමනාකරණ පළපුරුද්ද පසෙක ලා, නීතියෙන් බලතල ඉවත් වූ පමණින් ජාත්‍යන්තර ගනුදෙනුවලදී වගකීමෙන් අත් සේදිය නොහැක. එලෙසම, බලහත්කාරයෙන් මෙන් මෙහෙයුම් භාර ගත් භාණ්ඩාගාරයේ නිලධාරින් ද මෙම මූල්‍ය හානියේ වගකීම භාර ගත යුතුය.
මෙවැනි විනාශ නැවත සිදු නො වීමට නම් කළ යුත්තේ කුමක් ද?
මහා භාණ්ඩාගාරයේ මංකොල්ලයට හේතු වු කරුණු නැවත ඇති නොවීමට පහත පියවර ගත යුතු බවට මේ වන විටත් යෝජනා ඉදිරිපත් වී ඇත.
· තාක්ෂණික සහ සයිබර් ආරක්ෂාව තර කිරීම: විදේශ ණය ගෙවීම්වලදී අදාළ ඉන්වොයිස් සහ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වල සත්‍යතාව තහවුරු කර ගැනීම අනිවාර්ය කිරීම. පද්ධතිවල පවතින දුර්වලතා හඳුනා ගැනීම සඳහා වහාම වෝහාරික විගණනයක් (forensic audit) සිදු කළ යුතුය.
· නීතිමය අඩුපාඩු වැසීම: මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ වාර්තාකරණ වගකීම්වලට ශ්‍රී ලංකා මහ බැංකුව ද යටත් වන පරිදි ‘මූල්‍ය ව්‍යාපාර පනත’ (Finance Business Act) වහාම සංශෝධනය කළ යුතුය.
· ඒකාබද්ධ ආරක්ෂණ ඒකකයක් පිහිටුවීම: ආයතන දෙක එකිනෙකාට චෝදනා කර ගනු වෙනුවට, විදේශ ගෙවීම් සහ සයිබර් ආරක්ෂාව නිරීක්ෂණය සඳහා මහ බැංකුවේ සහ භාණ්ඩාගාරයේ එකමුතුවෙන් ඒකාබද්ධ අර්බුද කළමනාකරණ ඒකකයක් පිහිටුවිය යුතුය.
· මානව සම්පත් යළි ගොඩනැගීම සහ දේශපාලන අතපෙවීම් නතර කිරීම: දේශපාලන හිතවත්කම් මත සිදු කරන අත්තනෝමතික මාරුවීම් සහ පත්වීම් වහාම නතර කළ යුතුය. ඒ වෙනුවට දක්ෂතා සහ පෞද්ගලික අංශයේ ද පළපුරුද්ද ඇති වෘත්තිකයන් මෙම පද්ධතියට බඳවා ගත යුතුය.
· මුදල් අමාත්‍යාංශය ලේකම්වරයාගේ අකාර්යක්ෂමතාව සහ වෘත්තීය භාවයක් නොමැති බව: මුදල් අමාත්‍යාංශයේ හා භාණ්ඩාගාරයේ කටයුතු මේ වන විට මුළුමනින්ම බිඳ වැටී ඇත. ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විසින් ඉදිරිපත් කර ඇති වාර්ෂික වාර්තාව පවා අඩුපාඩු රැසකින් සමන්විතය. ජාතික විගණන කාර්යාලය මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇත්තේ ද, කොන්දේසි සහිත මතයකි (qualified opinion). මෙම තත්වය වලක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හෝ රාජ්‍ය සේවයේ වෘත්තීය පළපුරුද්ද සහිත නිලධාරියෙකු මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයට වහා පත් කිරීම කාලෝචිත වේ.
ජනතාවගේ බදු මුදල් සහ ජාතික ධනය මෙලෙස අවභාවිතා වීමට ඉඩ හැර, නිදහසට කරුණු දක්වමින් ගැලවී යාමට කිසිදු බලධාරිවරයෙකුට අයිතියක් නොමැති බව “Free Lawyers” සංවිධානය ලෙස අපි තරයේ අවධාරණය කරමු.
ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න / හිටපු ආණ්ඩුකාරවර රජිත් කීර්ති තෙන්නකෝන්














