වැටුප් සහිතව වැඩ තහනමට ලක්ව සිටින රියදුරන් සම්බන්ධයෙන් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය

වැටුප් සහිතව වැඩ තහනමට ලක්ව සිටින රියදුරන් පිළිබඳ සාකච්ඡාවක් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පසුගියදා පාර්ලිමේන්තුයව්දී සිදු කෙරිණි. ඒ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ සභාපතීත්වයෙන් එම කාරක සභාව රැස් වූ අවස්ථාවේදීය.  

විවිධ විනය ගැටලු හේතුවෙන් රියදුරන් 400ක් 500ක් පමණ  වැඩ තහනමට ලක්ව සිටින බවත් ඔවුන්ගෙන් ඇතැම් රියදුරන් තවමත් වැටුප් ලබා ගනිමින් සිටින බවත් පැමිණි නිලධාරීහු පෙන්වා දුන්හ. විවිධ නීතිමය තත්ත්වයන් යටතේ අධිකරණ ක්‍රියාමාර්ග නිසා  මෙලෙස වැටුප් ගෙවීම සිදු වන බවත් එසේ වැඩ තහනමට ලක්ව සිටින ඇතැම් රියදුරන් පෞද්ගලික බස්රථ වල රියදුරු වෘත්තියේ යෙදෙමින් ආදායම් උපයන බවත් නිලධාරීහු වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

මේ පිළිබඳ දීර්ඝව සාකච්ඡා කිරීමෙන් අනතුරුව, අවශ්‍ය නීති උපදෙස් කඩිනමින් ලබාගෙන විනය ක්‍රියාමාර්ග ගැනීමේ ක්‍රමවේද සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස ගරු අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

එසේම ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධ නීතිමය රාමුව ශක්තිමත් කිරීම තුළින් සාධනීය දිශානතියක් කරා ප්‍රවාහන ක්ෂේත්‍රය යොමු කරවීම සඳහා වන අනු කාරක සභාවේ සහ දුම්රිය දෙපාර්තමේන්තුව, කාර්යක්ෂම සහ සතුටුදායක සේවා උත්පාදනය කරන ස්ථානයක් බවට පත් කිරීම සඳහා වන අනු කාරක සභාවේ අවසන් වාර්තාව සහ අතුරු වාර්තාව පිළිවෙළින් ඉදිරිපත් කිරීම සිදු විය.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අංශවල දිවයිනේ විවිධ ප්‍රදේශවල පවතින ගැටලු මෙහිදී ගරු මන්ත්‍රීවරයන් විසින් කාරක සභා සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. මේ පිළිබඳ කරුණු විමසූ කාරක සභා සභාපතිවරයා අවශ්‍ය පියවර ගැනීම සදහා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන එරංග ගුණසේකර, (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන යන මහත්වරුන්, කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් ද  මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website