මධ්‍යම පළාත් සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට

2021 – 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති ත්‍රෛවාර්ෂික තත්ත්ව වාර්තාවත්, 2024 වර්ෂය සඳහා වූ විගණකාධිපති වාර්තාවත් සහ වර්තමාන කාර්යසාධනයත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට මධ්‍යම පළාත් සභාව කැඳවා පරීක්ෂා කෙරිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කාරක සභා රැස්වීම පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවැත්විණි.

මෙහිදී, 2019 සැප්තැම්බර් 05 දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය විමසා බලමින් මධ්‍යම පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ ලිපි ගොනු විනාශ කිරීම සම්බන්ධ සිදුවීමට අදාළ කරුණු සාකච්ඡාවට ගැනිණි.

එහිදී, අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණය විසින්  සහ ජනාධිපති ලේකම් විසින් ලබාදුන් නියෝග අදාළ බලධාරීන් ක්‍රියාත්මක කර නොමැති බව අනාවරණය විය. මේ සම්බන්ධව උපදෙස් ලබාදෙමින් කාරක සභා සභාපතිවරයා එම සිදුවීමට අදාළ සියලුම වාර්තා සහ ලිපි, කාරක සභාවට යොමු කරන ලෙස මධ්‍යම පළාත් සභාවේ  නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.

තවද, අනීතික ලෙස බදු කොන්දේසි උල්ලංඝනය කරමින් මාර්ග සංවර්ධන අධිකාරිය සතු ගිමන්හලක් තෙවන පාර්ශ්වයක් වෙත ලබාදීමට අදාළ සිදුවීමද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. ඒ අනුව එම සිදුවීමට අදාළව තීරණ ගත් නිලධාරීන් හඳුනාගැනීමට කටයුතු කරන ලෙස සහ මෙම සිදුවීම මේ සම්බන්ධව ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් කාරක සභාවට යොමු කරන ලෙසත්, කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ජාතික විගණන කාර්යාලය මගින් පෙන්වා දී ඇති මධ්‍යම පළාතේ, මාර්ග සංවර්ධනයේදී හා මගී ප්‍රවාහන සේවා කටයුතුවලදී සිදුව ඇති අක්‍රමිකතා සහ සෞඛ්‍ය සේවාවේ පවතින ගැටලු පිළිබඳව ද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

එහිදී අදහස් දක්වමින් සභාපතිවරයා, ආයතන තුළ ක්‍රියාත්මක වෙමින් පවතින පරීක්ෂණ ක්‍රියාවලි කඩිනමින් සම්පූර්ණ කර ඉදිරි ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. රාජ්‍ය ආයතනයක් ලාභ ලබන්නේ නම් එම ලාභය රජයට හිමිවිය යුතු අතර, එකී ආදායම් ආයතනික කටයුතු සඳහා යොදාගන්නේ නම් නිර්ණායකගත නීති හා ක්‍රමවේද අනිවාර්යයෙන් අනුගමනය කළ යුතු බවද හෙතෙම දැඩිව අවධාරණය කළේය.

මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් වන (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ්, රුවන්තිලක ජයකොඩි, නීතිඥ තුෂාරි ජයසිංහ, සුනිල් රත්නසිරි, ඔෂානි උමංගා, සුසන්ත කුමාර නවරත්න, අජන්ත ගම්මැද්දෙගේ, චානක මාදුගොඩ, ටී.කේ. ජයසුන්දර, ලාල් ප්‍රේමනාත් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website