එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 𝟖.𝟕𝟓%ක් දක්වා ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගත් තීරණය පිළිබද සංක්ෂිප්ත සටහනක්
මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (25) දින පැවති සිය රැස්වීමේ දී, එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.75%ක් දක්වා පදනම් අංක 100කින් ඉහළ දැමීමට තීරණය කළේය. වෙනස්වන දේශීය සහ ගෝලීය තත්ත්වයන් සහ ඉදිරි දැක්ම පිළිබඳ ව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි.
මැද පෙරදිග කලාපය තුළ වර්ධනය වූ අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් ඇති වූ අවිනිශ්චිතතා හේතුකොට ගෙන, විශේෂයෙන්ම ඛනිජ තෙල් මිල ඇතුළුව ගෝලීය වෙළඳ භාණ්ඩ මිල ඉහළ යෑම මගින් ගෝලීය මෙන්ම දේශීය ආර්ථිකයට ද දැඩි බලපෑම් එල්ල කරමින් පවතී. ගෝලීය ඛනිජ තෙල් මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් දේශීය බලශක්ති මිල ගණන් ද සැලකියයුතු ලෙස ඉහළ දැමුණු අතර, එය 2026 වසරේ අප්‍රේල් මාසයේ දී වාර්තා වූ 5.4%ක (වාර්ෂික ලක්ෂ්යමය) උද්ධමනය සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය.
මෑත කාලීනව උද්ධමනය ඉහළ යෑම සඳහා බොහෝ දුරට සැපයුම් අංශයේ සාධක හේතු වූ අතර, අඛණ්ඩ ණය ප්‍රසාරණය, ණය මත පදනම් වූ ආනයන සහ ආර්ථික ක්‍රියාකාරකම්වල ප්රමුඛ ආර්ථික දර්ශක මගින් පෙන්නුම් කරන පරිදි ආර්ථිකයේ ඉල්ලුම් තත්ත්වයන් ද ශක්තිමත් වී ඇත. ඒ අනුව, මතුපිට උද්ධමනය ඉදිරි කාලයේ දී 5% ඉලක්කගත මට්ටමට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති අතර, ඉන් අනතුරුව යම් පහළ යෑමක් වාර්තා කරමින් උද්ධමන ඉලක්කය වටා ස්ථායී වනු ඇතැයි බලාපොරොත්තු වේ. උද්ධමන අපේක්ෂා මැදි කාලීනව උද්ධමන ඉලක්කය වටා ස්ථායීව පැවතිය ද, කෙටි කාලීනව යම් ඉහළ යෑමක් පෙන්නුම් කර ඇත.
මැද පෙරදිග ගැටුම් හේතුවෙන් උද්ගත වන ගෝලීය අහිතකර තත්ත්වයන් මධ්‍යයේ විදේශීය අංශය කෙරෙහි කෙටි කාලීන පීඩන එල්ල වනු ඇතැයි අපේක්ෂා කළ අතර, සමපේක්ෂණ ක්‍රියාකාරකම් හේතුවෙන් මෑත කාලීන සතිවල දී එවැනි පීඩන තවදුරටත් තීව්ර වී ඇත. 2025 වසරේ දී වාර්තා කළ ශක්තිමත් කාර්යසාධනයෙන් පසුව, 2026 වසරේ පළමු කාර්තුවේ දී විදේශීය ජංගම ගිණුම් අතිරික්තය අඩු මට්ටමක පැවතුණි. මේ සඳහා, විශේෂයෙන් ඉන්ධන ආනයනය සඳහා වන වියදම ඉහළ යෑම හේතුවෙන් වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය පුළුල් වීම සහ සංචාරක ඉපැයීම් අවම වීම ප්‍රධාන වශයෙන් හේතු විය. කෙසේ වුව ද, 2026 වසරේ මේ දක්වා කාලයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබීම් ශක්තිමත්ව පැවතුණි.
විදේශ ණය සේවාකරණය මධ්‍යයේ වුව ද 2026 වසරේ අප්‍රේල් අවසානය වනවිට දළ නිල සංචිත එ.ජ.ඩොලර් බිලියන 6.8ක් ලෙස පැවතුණි. කලාපයේ අනෙකුත් රටවල විනිමයවල දක්නට ලැබුණු ආකාරයෙන්ම, මෑත කාලීනව ශ්‍රී ලංකා රුපියල ද කැපී පෙනෙන අයුරින් අවප්‍රමාණය වීමේ පීඩනයකට මුහුණදුන් අතර, මේ වනවිට තත්ත්වය යම් දුරකට ලිහිල් වී ඇත. ඉදිරි කාලය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී, සැලකියයුතු මට්ටමේ බහුපාර්ශ්වික ලැබීම්, භූ-දේශපාලනික ආතතීන්ගේ අපේක්ෂිත අඩුවීම සහ රජය හා මහ බැංකුව විසින් මෑතක දී ප්‍රකාශයට පත් කරන ලද ක්‍රියාමාර්ග, විදේශීය අංශය ස්ථාවර කිරීමට දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
උද්ධමන පුරෝකථන ඉහළ යෑම, බලශක්ති මිල ගණන් සංශෝධනය හේතුවෙන් මතුපිට උද්ධමනය මත ඇතිවිය හැකි දෙවන වටයේ බලපෑම්, පුද්ගලික අංශයේ ණය අඛණ්ඩව ප්‍රසාරණය වීම මගින් ආනයන ඉල්ලුම තවදුරටත් ඉහළ යෑම, විදේශීය අංශය මත පීඩනයන් මෙන්ම උද්ධමන අපේක්ෂා උද්ධමන ඉලක්කයෙන් විතැන් වීමේ අවදානම සැලකිල්ලට ගනිමින්, මෙම අවස්ථාවේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කිරීම සුදුසු බව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ අදහස විය. දේශීය මිල ස්ථායීතාව පවත්වාගෙන යෑම සඳහා මුදල් මණ්ඩලයේ ඇති අඛණ්ඩ කැපවීම මෙම ප්‍රතිපත්ති ස්ථාවරය මගින් පෙන්නුම් කරයි.
මහ බැංකුව දේශීය සහ ගෝලීය ප්රවණතා පිළිබඳ දත්ත මෙන්ම උද්ගතවන අවදානම් මනාව ඇගයීමට ලක් කරමින්, ආර්ථිකය එහි උපරිම ධාරිතා මට්ටමට ළඟාවීම සඳහා සහය වන අතරම, උද්ධමනය ඉලක්කගත මට්ටමේ ස්ථාවර වීම තහවුරු කිරීම සඳහා සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට අඛණ්ඩව කටයුතු කරනු ඇත.
මීළඟ මුදල් ප්‍රතිපත්ති නිවේදනය 2026 ජූලි 22 වන දින නිකුත් කිරීමට නියමිතය.
















