VAT බද්දෙන් 60%ක් ව්‍යාපාරිකයින්ගේ සාක්කුවට යන එක නතර කරනවා –  චතුරංග අබේසිංහ

අපේ රටේ ආදායම් බදු ගෙවිය යුතු මිලියන 2.3කට අධික පිරිසක් සිටිනවා. නමුත් අපට බදු ෆයිල් තියෙන්නේ මිලියන 1.3යි. මෙතන තමයි අයුක්තිය සිද්ධ වෙන්නේ. මහන්සි වෙලා රැකියාවක් කරන සෑම පුද්ගලයෙකුගේම මාසික වැටුපෙන් මේ බද්ද කැපෙනවා. දවසකට රුපියල් ලක්ෂයක් හෝ ඊට වඩා පිරිවැටුමක් ලබන පුද්ගලයින්ට පමණයි මේ නව බද්ද අදාළ වෙන්නේ. දිනකට රුපියල් ලක්ෂයක ආදායමක් තිබෙනවා කියන්නේ අවම වශයෙන් මාසයකට රුපියල් ලක්ෂ 30ක ආදායමක් ලබනවා කියන එක. මාසිකව ලබන මේ රුපියල් ලක්ෂ 30න්  10%ක ලාභයක් තිබ්බොත් රුපියල් ලක්ෂ තුනක ශුද්ධ ලාභයක් තිබෙනවා. ලක්ෂ තුනක වැටුපක් ගන්න පුද්ගලයෙක් අදායම් බදු ගෙවනවා. නමුත් රැකියාවක් නොකර මාසිකව රුපියල් ලක්ෂ තුනක පිරිවැටුමක් ලබන පුද්ගලයෙක් බදු ගෙවන්නේ නැහැ.  ඒක සාධාරණ ද ?.

2017 අංක 24 දරන දේශීය ආදායම් 2022 දීත් සංශෝධනය කළා. එහි අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා ඉදිරිපත් කළ සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 19 වැනිදා සම්මත වුණා. දැනට පවතින බදු ක්‍රමයේ සංකීර්ණතා ඉවත් කිරීම සහ බදු පරිපාලනය කිරීමේ දී හඳුනාගත් අවිනිශ්චිතතා ඉවත් කර ගැනීම ඇතුළු පියවර වෙනුවෙන් තමයි මේ සංශෝධන පනත ගෙනාවේ. ඒ වගේම මේ පනත හරහා යම් සහන ප්‍රමාණයකුත් ජනතාවට හිමිවෙනවා. උදාහරණයක් ලෙස අපි රුපියල් ලක්ෂ පහකට වඩා වැඩි ගෙවීමක් කරනවා නම්, ඒක චෙක්පතකින් හෝ ඔන්ලයින් ගෙවීමක් ලෙස කළේ නැතිනම් අපට ඒක වියදමක් ලෙස අඩුකර ගන්න වෙන්නේ නැහැ. අපි මේ කරන්න හදන්නේ මුදල් ගනුදෙනු අඩුකරලා ගෙවීම් ක්‍රියාවලිය සංවිධිත කර ගන්න. ඒ වගේම අපි පුද්ගලයෙක් විදිහට, ඒක පුද්ගල විදිහට බදු ෆයිල් කරනවා නම්, පසුගිය අවුරුද්දට වගේ 120%ක් මේ අවුරුද්දේත් බදු ගෙවලා තිබෙනවා නම් අපිට කිසිම තක්සේරුවක් (Assessment) එන්නේ නැහැ. ඒක හොඳයි. මීට කලින් දේශීය ආදායම දෙපාර්තමේන්තුවට  තනි පුද්ගලයෙක්ටත් ආදායම් තක්සේරු කරන්න හැකියාව තිබුණා. ඒ වගේම ඩොලර් මිලියන තුනක් ආයෝජනය කළොත් පමණයි පළමු වසරේ සිට Advanced capital allowances එකක් ලැබෙන්නේ. නමුත් නව සංශෝධන පනත හරහා ආයෝජන මුදල ඩොලර් මිලියන 2.5 දක්වා අඩු කරලා තිබෙනවා. මේ හරහා ආයෝජන කරන ආයතනවලට ලොකු සහනයක් ලැබෙනවා. මේ මුදල තමන් ගෙවන බදු වලින් කපා ගැනීමේ අයිතිය අදාළ ආයතනවලට ලැබෙනවා.

අපි දන්නවා බදු ගෙවීම පැහැර හරින විශාල පිරිසක් ඉන්නවා. ඉදිරියේ දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අවසාන බදු තක්සේරුව කළාට පස්සේ ඒක සාක්ෂියක් ලෙස මහාධිකරණයට පාවිච්චි කරන්න පුළුවන්.  බදු නොගෙවීම, ගෙවීම පැහැර හැරීම හෝ ප්‍රතිචාර නොදැක්වීම අපරාධමය වරදක් බවට පත්වෙනවා.

ඔව්, විපක්ෂ නායකවරයා කලබල වෙලා තිබෙනවා. මම හිතනවා කවුරු හරි බදු නොගෙවා ඉන්නවා නම් ඒ නඩුව අවුරුදු ගාණක් ඉදිරියට ඇදගෙන යාම ප්‍රජාතන්ත්‍රවාදීයි කියලා. අපි හිතනවා ඒක පොදු ජනතාවට අයුක්තියක්, ඒ නිසා ඉතා ඉක්මනින් නඩු දාලා, තක්සේරුව අවසන් වුණාට පස්සේ අවුරුද්දක් පමණ කාලයක් තුළ රජයට හිමි බදු, ජනතාවට හිමි බදු අය කරගත යුතුයි කියලා. ඔබ දන්නවා මත්ද්‍රව්‍ය පිටුදැකීමට තද නීති අවශ්‍යයි කියලා සමාජ මතයක් තිබෙනවා. බදුකරණයේ දීත් ඒ ප්‍රශ්නයම තිබුණා. දැවැන්ත බදු පැහැර හරින්නන් නීතිය ඉදිරියට ගෙන ඒමට හැකියාවක් තිබුණේ නැහැ. ඒකට හේතුව තමයි ඔවුන්ට එරෙහිව අධිකරණය ඉදිරියේ සාක්ෂියක් ලෙස පාවිච්චි කළ හැකි  දෙයක් තිබුණේ නැහැ. නමුත් නව පනත අනුව දේශීය ආදායම් කොමසාරිස්ට ඒ බලය තියෙනවා. ඔහු කිව්වොත් ‘අපි මේ ගැන විමර්ශනය කළා කියලා’ ඒක අධිකරණයේ දී සාක්ෂියක් ලෙස ඉදිරිපත් කරන්න පුළුවන්. මම හිතනවා ඒක හොඳ දෙයක් කියලා. අපි කියන්නේ බදු ගෙවන අය මේ නීති ගැන බය වෙන්න අවශ්‍ය නැහැ.

ඔව්, බදු ප්‍රතිපත්තිය හේතුවෙන් විදේශ ආයෝජන ලංකාවට පැමිණෙන විට යම් බාධාවක් තිබුණා. ඒ ආයෝජනයට හිමිවන වීසා එකට තමයි බදු අය කළේ. ඒ ආයෝජකයාගේ ලංකාවේ ආදායමට පමණක් නොවෙයි මවුරටේ ආදායමටත් එක්ක තමයි බදු අය කළේ. මේ සංශෝධන පනත හරහා මේක ඉවත් කළා. මෙතැන් විට විදේශ ආයෝජකයෙක් ලංකාව තුළ උපයන ආදායමට පමණයි ගණනය කරන්නේ. එවිට ඔහුගේ විදෙස් ආයෝජන ගැන ප්‍රශ්නයක් නැහැ.

අපේ රටේ බදු ගෙවන්න පුළුවන් තත්ත්වයේ මිලියන 2.3ක් ඉන්නවා. නමුත් බදු ගෙවන්නේ මිලියන 1.3ක් පමණයි. මිලියනයක් බදු නොගෙවා සිටිනවා. රැකියාවක් කරන පුද්ගලයෝ බදු ගෙවන විට ඊටත් වඩා විශාල ආදායමක් ලබන පුද්ගලයින් ලක්ෂ ගණනක් ආදායම් බදු නොගෙවා සිටිනවා. මේ තත්ත්වය කඩිනමින් නිවැරදි කළ යුතුයි. මේ මිලියන 2.3ම ආදායම් බදු ගෙවන තතත්වයට ආවොත් අපට වක්‍ර බදු අඩුකර ගන්න පුළුවන් වෙයි, තීරු බදු අඩුකර ගන්න පුළුවන් වෙයි. ආර්ථිකය ඉදිරියට යන වේගයෙන් හරියට බදු ටික එකතු කර ගන්න පුළුවන් වුණොත් මේ බොහෝ ගැටලු විසඳ ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. ඒ වගේම මම යළිත් කියනවා, දේශීය ආදායම් පනත සංශෝධන පනත හරහා කරන්නේ බදු නොගෙවන ජනතාව ඒ සිස්ටම් එක ඇතුළට ගැනීමයි.

විපක්ෂය කියන්නේ සම්පූර්ණයෙන්ම සාවද්‍ය කතාවක්. 18%ක් වන වැට් බද්දට කිසිවක් වෙන්නේ නැහැ. මූල්‍ය අංශය තුළ 18%ක වැට් බද්ද සහ 2.5%ක සමාජ ආරක්ෂණ බද්ද යන දෙකම තිබුණා. දැනටත් ඒක තිබෙනවා. නමුත් ප්‍රශ්න තිබුණේ මේ බදු දෙක එකතු කරන්න ගියාම මූල්‍ය ආයතනවලට හරිම කරදරයි.  ඒ වගේම බදු ප්‍රතිපූර්ණයේ දී විවිධ ගැටලු තිබුණා. ඒ නිසා තමයි මේ දෙක එකට එකතු කළේ. කිසිම වෙනසක් වෙලා නැහැ. 20.5%ක බද්ද ඒ ආකාරයෙන්ම තිබෙනවා. වැට් බද්ද ක්‍රමිකව අඩු කිරීමේ ඉලක්කයක් අපට තිබෙනවා.

ඇත්තම කතාව තමයි වැට් බද්දේ 60%ක් බදු පැහැර හැරීමක් තිබෙනවා. ඒ කියන්නේ වැට් බද්ද පාරිභෝගිකයාගෙන් අය කර ගත්තත් ඒක රජයට දෙන්නේ නැහැ. බදු ගෙවිය යුතු ආදායම මිලියන 60 සිට 36 දක්වා අඩු කිරීමට ප්‍රධාන හේතුව මේ වැට් බදු පැහැර හැරීම. මෙහි සත්‍ය තත්ත්වය ව්‍යාපාරිකයින් තේරුම් ගත යුතුයි. මේ වැට් එක අලුතින් ගහන එකක් නෙමෙයි, තමන්ගේ යෙදවුම් සහ එකතු කර ගන්න ප්‍රමාණය හිලව් කර ගන්න පුළුවන් වැට් එකට ලියාපදිංචි වුණාම. අපි උදාහරණක් ගනිමු, කඩයක් තිබෙනවා, ඒ කඩේට බඩු ගන්නවා. බඩු ගන්න කොට ඒවා මිලදී ගන්නේ වැට් එකත් එක්ක. එතකොට ව්‍යාපාරිකයාගේ වියදමක් බවට වැට් එක පත්වෙනවා. ඊට පස්සේ යම් ලාභයක් තියාගෙන ඒ බඩු ටික විකුණනවා. එතකොට පාරිභෝගිකයා තමයි වැට් එකත් ඇතුළත් අදාළ මිල ගෙවන්නේ. එවිට ඇත්තටම ව්‍යාපාරිකයාගේ ඇත්තම වැට් බද්ද වෙන්නේ එකතු කළ අගය. නව සංශෝධන පනත හරහා නිෂ්පාදන ආයතනවලට නම් වියදම අඩු වෙනවා. තමන් එකතු කරන අගයට තමයි වැට් බද්ද වදින්නේ. අවසානයට විකුණන මුදලට 18%ක වැට් බද්දක් ගෙවන්න වෙන්නේ නැහැ. අපේ අරමුණ තමයි මේ බදු ගෙවීම සංවිධිත කර ගැනීම.

වැට් බද්දට සියලුම ව්‍යාපාරිකයින් සම්බන්ධ වුණොත් ඒක සියලු දෙනාටම වාසියි. සමහර නිෂ්පාදකයෝ වැට් වලට ලියාපදිංචි නැති කුඩා ආයතනවලින් බඩු ගන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඔහුට වැට් ඉන්වොයිස් එකක් නොලැබීම. වැට් ඉන්වොයිස් එකක් ලැබුණොත් ඔහුට ඒක යෙදවුම් වැට් එකත් එක්ක හිලව් කරන්න පුළුවන්. මේ බදු ක්‍රමය සංවිධිත වීම සියලුම පාර්ශ්ව වලට වාසිදායකයි. විශේෂයෙන්ම ව්‍යාපාරිකයින්ට මේක හොඳයි.

ඔව්, ඇතැම් ව්‍යාපාරිකයින් මිලියන 60ක සීමාවට ගෙනත්, තවත් සමාගම් ආරම්භ කරනවා. තනි ව්‍යාපාර වෙනත් නමකින් ව්‍යාපාර ආරම්භ කරනවා. බොහෝ ව්‍යාපාරිකයින් මිලියන 60 සීමාව පහුනොකර එකතු කර ගන්න වැට් ටික තමන් සතුව තියා ගත්තා. එකතු කර ගත්ත වැට් බද්ද ආණ්ඩුවට දුන්නේ නැහැ. ඒ නිසයි මේක වෙනස් කරන්න අවශ්‍ය වුණේ.

ඔව්, ඔබේ දෛනික පිරිවැටුම රුපියල් 100,000ට අඩු නම් ඔබට මේක අදාළ නැහැ. ඒ කියන්නේ මාසයකට රුපියල් ලක්ෂ 30ක පිරිවැටුමක් නැතිනම් ඔබට මේ නීතිය අදාළ නැහැ. මේක සියලු පාර්ශ්ව වලට හානියක් නොවන ආකාරයට දුරදිග කල්පනා කරලා කළ සංශෝධනයක්. ඒ නිසා මේ නව සංශෝධන ගැන කිවෙක් අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැහැ. විශේෂයෙන් නිසි පරිදි බදු ගෙවන ජනතාව සහ ව්‍යාපාරිකයින් කලබල විය යුතුම නැහැ.

රජය විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (MSME) සවිබල ගැන්වීම වෙනුවෙන් හඳුන්වා දුන් ‘RE MSME PLUS’ (Stimulating Package for Re-Energizing the MSME sector in Sri Lanka) ණය යෝජනා ක්‍රමය මේ වන විට ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ වෙන් කරන ලද රුපියල් බිලියන 25ක සම්පූර්ණ මුදල මේ වන විටත් දිවයිනේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු 15ක් හරහා ව්‍යවසායකයන් වෙත ලබා දී හෝ ලබා දීමට නියමිත (Pipeline) මට්ටමේ තිබෙනවා. ව්‍යවසායකයන් අතර පවතින උද්යෝගය හේතුවෙන් ජූනි මාසය දක්වා වෙන් කරන ලද ප්‍රතිපාදන සියල්ල මේ වන විට සාර්ථකව ලබා දී අවසන්ව තිබීම රජය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකියි. කර්මාන්ත අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය එක්ව වසර ගණනාවක් තිස්සේ පැවති දුර්වලතා මගහරවා ගනිමින්, ව්‍යවසායකයන්ට අවශ්‍ය මූල්‍ය, තාක්ෂණික සහ නීතිමය සහාය ලබා දීම හරහා ආයතන පද්ධතිය ශක්තිමත් කර තිබෙනවා. ජූනි මස දක්වා වෙන් කළ මුදල් සියල්ල අවසන් වෙලා තිබීම අසතුටුදායක පුවතක් තමයි. හැබැයි සතුටුදායක දේ තමයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මේ වැඩසටහන පිළිබඳව දැන් හොඳ අවබෝධයක් ඇතිකරගෙන බැංකු වෙත යොමුවීම. ලෝක බැංකු ආධාර සහ සංවර්ධන මූල්‍ය අරමුදල් යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. පසුගිය වසරවලට සාපේක්ෂව මෙවර විශාල මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන්කෙරුණා.

විවිධ සහන පොලී ණය ක්‍රම යටතේ මේ වන විට ව්‍යවසායකයින් 6,000ත් 8,000ත් අතර ප්‍රමාණයකට ණය මුදල් ලබා දී තිබෙනවා. මෙම වසර අවසානය වන විට ව්‍යවසායකයින් 15,000කට පමණ මෙම වැඩපිළිවෙළ යටතේ ප්‍රතිලාභ සැලසීමට රජය අපේක්ෂා කරනවා. ජූනි මාසය වන තුරු වෙන් කළ ප්‍රතිපාදන අවසන් වුනත් බැංකු පද්ධතිය හරහා ලැබී ඇති අයදුම්පත් ප්‍රමාණය වෙන් කළ මුදලට වඩා වැඩියි.

ව්‍යාපාරිකයන්ට අඩු පොලී ණය ලබාදීම සඳහා රජය ක්‍රම දෙකක් ක්‍රියාත්මක කරනවා. ඒ අනුව රජය බැංකුවලට අඩු පොලී අරමුදල් ලබාදීම හෝ ණය සඳහා පොලී සහනාධාර ලබාදීම මගින් ව්‍යාපාරිකයන්ගේ මූල්‍ය බර අවම කර තිබෙනවා. මීට අමතරව ඇප නොමැති ව්‍යාපාරිකයන් සඳහා “ණය සුරක්ෂණ” ක්‍රමවේදයක්ද හඳුන්වාදී තිබෙනවා. ඒ යටතේ මේ වනවිට සහන ලබාගෙන ඇති ව්‍යාපාරිකයින් ප්‍රමාණය  ව්‍යාපාරිකයන් 1750ක් පමණ වෙනවා. ලබාදී   තවත් 1500කට පමණ එම පහසුකම ලබාදීමට සැලසුම් කර තිබෙනවා. 

ඔබ කියන කතාව නිවැරදියි. බොහෝ ව්‍යාපාරිකයන්ට හොඳ ව්‍යාපාර අදහස් තිබුණත් ඇපකරයක් නැති නිසා බැංකු ණය ලබාගන්න බැරි වෙනවා. ඒ ගැටලුවට විසඳුමක් විදිහට තමයි රජය ණය සුරක්ෂණ ක්‍රමය හඳුන්වා දීලා තියෙන්නේ. ණය ක්‍රම සඳහා පෙර පැවති දීර්ඝ හා සංකීර්ණ ක්‍රමවේදය වෙනුවට මේ වනවිට සරල සහ වේගවත් ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වාදී මට රජය පියවර ගෙන තිබෙනවා. එමෙන්ම මෙරට ආර්ථිකය නැංවීමේ ප්‍රධාන පදනමක් ලෙස සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හඳුනාගෙන ඇති අතර, තරුණ ව්‍යවසායකයන් මෙන්ම කාන්තා ව්‍යවසායිකාවන් ශක්තිමත් කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක්. අපි ඒ වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරනවා.

සටහන – භාතිය බරුකන්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website