2026 වර්ෂයේ පළමු අර්ධ වාර්ෂික ජල ගාස්තු සංශෝධනය සිදු නොකිරීමට තීරණයක්

2026 වර්ෂයේ පළමු අර්ධ වාර්ෂික ජල ගාස්තු සංශෝධනය සිදු නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

2026 වර්ෂයේ පළමු මාස හය තුළ වත්මන් ජල ගාස්තු සංශෝධනයකින් තොරව පවත්වා ගෙන යාම පිණිස නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යවරයා විසින් පසුගිය 18 වැනි  දා  රැස් වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවීම සමඟ රජය මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව 2024/07/15 වැනි දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමත කරන ලද ජල ගාස්තු සූත්‍රය අනුව ප්‍රධාන පිරිවැය සාධකවල ඇති වන වෙනස්කම් සැලකිල්ලට ගෙන ජල විකුණුම් ඒකක පිරිවැය අර්ධ වාර්ෂිකව සමාලෝචනය කළ යුතුව ඇතත්, 2025 වර්ෂය සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශනය මත පදනම්ව සිදුකරන ලද විශ්ලේෂණය අනුව වත්මන් ජල ගාස්තු මඟින් සම්පූර්ණ මෙහෙයුම් වියදම් ආවරණය කර ගැනීමට හැකියාව පවතින බව තහවුරු වී ඇත.

එබැවින් 2026 වර්ෂයේ පළමු මාස 06 තුළ ජල විකුණුම් එකක පිරිවැය ඉහළ නැංවීමකින් තොරව පවත්වා ගෙන යාමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website