බාල ගල් අඟුරු ආනයනය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණක් අවශ්‍යයි – විපක්ෂ නායක සජිත්  අවධාරණය කරයි

වත්මන් රජය විසින් නොරොච්චොලේ ගල් අුරු බලාගාරය සඳහා නියමිත ක්‍රමවේදයෙන් බැහැරව ගෙන ආ ගල් අුරු නැව් 8කම තිබූ ගල් අුරු නියමිත ප්‍රමිතියෙන් බාල බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  මහතා අද (20) පාර්ලිමේන්තුවේ ඒ සම්බන්ධයෙන් පැවැති විවාදයේ දී දත්ත මත පදනම්ව පෙන්වා දුන්නේය.

මේ නිසා රටට සිදුවන පාඩුවත් ඒ පාඩුව පියවා ගැනීමට වත්මන් රජය විදුලි පාරිභෝගිකයා මත විදුලි බිල වැඩි කිරිමට කටයුතු කරන බවත් මෙහි දී පෙන්වා දුන් විපක්ෂ නායකවරයා විදුලි සේවකයන්ගේ අයිතීන් කප්පාදු කරමින් රජය සිදු කරන ක්‍රියාවන් සම්බන්ධයෙන් ද මෙහි දී සාක්ෂි සහිතව පෙන්වා දුන්නේය.

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් කළ යුතු බව ද විපක්ෂ නායකවරයා මෙහි දී රජයට අවධාරණය කළේය.

ප්‍රේමදාස මහතා පැවසුවේ සාමාන්‍යයෙන් රටට වාර්ෂිකව ගල් අඟුරු නැව් 36 ත් 38 ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වන බවත් මේ දක්වා ලැබී ඇති රුසියානු නැව්ගත කිරීම් 11 තුළ කිසිදු ගැටලුවක් නොමැති බවත්ය. කෙසේ වෙතත් නව ටෙන්ඩරය යටතේ දකුණු අප්‍රිකාවෙන් ඇණවුම් කරන ලද ගල් අඟුරුවල ගුණාත්මකභාවය සම්බන්ධ ගැටලු ඇති බව විපක්ෂ නායකවරයා පැවසුවේය.

මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කළ විපක්ෂ නායකවරයා, “නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දහන වාර්තාවලින් පෙනී යන්නේ නව ටෙන්ඩරය යටතේ දැනටමත් ලැබී ඇති නැව් අටෙන් ඒකකයකට අපේක්ෂිත මෙගාවොට් 300ක ධාරිතාවක් ජනනය කිරීමට අපොහොසත් වී ඇති බවයි. පළමු නැව්ගත කිරීම මෙගාවොට් 285ක්, දෙවන නැව්ගත කිරීම මෙගාවොට් 290ක්, තෙවන මෙගාවොට් 260ක්, සිව්වන මෙගාවොට් 295ක්, පස්වන මෙගාවොට් 285ක්, හයවන මෙගාවොට් 270ක්, හත්වන මෙගාවොට් 275ක් සහ අටවන මෙගාවොට් 255ක් ජනනය කර තිබෙනවා. මේවා බොයිලේරු දහන වාර්තා හරහා ස්වයංක්‍රීයව ජනනය වන විද්‍යාත්මක දත්ත වන අතර ඒවා වෙනස් කළ නොහැකියි”.

අඩු ගුණාත්මක ගල් අඟුරු භාවිතය නිසා ඉන්ධන පරිභෝජනය ඉහළ යාම, මෙහෙයුම් පිරිවැය වැඩිවීම සහ උපකරණවලට හානි සිදුවිය හැකි බවට විපක්ෂ නායකවරයා අනතුරු ඇඟවීය. විදුලිබල නිෂ්පාදනයේ කිසියම් අඩුවීමක් අතිරේක ගල් අඟුරු ආනයනයකට හෝ ඩීසල් බලය මත යැපීමට හේතු වන බවත්, අවසානයේ පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තු ඉහළ නංවන බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website