මෙම වසර තුළ ගුරුවරුන් 23,000කට වැඩි පිරිසක් බඳවා ගැනීමට පියවර – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

ගුරුවරුන් 23,000කට වැඩි පිරිසක් බඳවා ගැනීම සඳහා මේ වනවිට අනුමතිය ලැබී ඇති බවත් මෙම වසර තුළ එම බඳවා ගැනීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට පියවර ගනිමින් සිටින බවත් අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය (ආචාර්ය) හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. මේ තුළින් දැනට පවතින ගුරු හිඟය මෙන්ම ගුරු මාරුවීම් සම්බන්ධ ගැටලු සැලකිය යුතු ලෙස අවම වනු ඇති බව ද එතුමිය සඳහන් කළාය. ඒ අනුව විවෘත සහ සීමිත පදනම යටතේ විභාග පවත්වමින් මෙලෙස උපාධිධාරීන් බඳවාගැනීමට පියවර ගන්නා බව එතුමිය වැඩිදුරටත් සඳහන් කළාය.

පසුගියදා (18) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පැවති අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී එතුමිය මේ බව සඳහන් කළාය. මෙම රැස්වීමට පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, වෘත්තීය අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න යන මහත්ම මහත්මීහු සහ අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

තවද, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ පිහිටුවා ඇති ‘අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකාරක සභාවේ’ සභාපති නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුවේ වාර්තාව අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරන ලදී. අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ පිහිටුවා ඇති අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනු කාරක සභාව විසින් පත් කළ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව විසින් සාකච්ඡා වට ගණනාවකින් පසු මෙම වාර්තාව සකස් කරන ලදී. ඒ අනුව අදාළ වාර්තාව අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කර ප්‍රසිද්ධ දැන්වීම් මගින් එම වාර්තාව පිළිබඳ මහජන අදහස් සහ යෝජනා ලබාගැනීම සඳහා මාසයක කාලයක් ලබා දීමට මෙහිදී තීරණය විය.

මේ අතර, උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අනුකාරක සභාවේ ප්‍රගතිය එම අනු කාරක සභාවේ සභාපති, නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා විසින් ද පාසල්වල පවතින මානව සම්පත් ඌනතාවය පිළිබඳ අනුකාරක සභාවේ ප්‍රගතිය එම අනු කාරක සභා සභාපති ගරු නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය විසින් ද ඉදිරිපත් කරන ලදී. එසේම, පාසල්වල පවතින භෞතික සම්පත් ඌනතාවය පිළිබඳ අනුකාරක සභාවේ ප්‍රගතිය එම අනු කාරක සභා සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනී සමන්මලී ගුණසිංහ මහත්මිය විසින් ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවිය.

තවද ජාතික හා පළාත් මට්ටමින් මෙම අමාත්‍යාංශයට අදාළ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන ලද විවිධ කරුණු පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවිය. ඒ අනුව, ඒවා සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ගෙන් කරුණු විමසීම සහ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා උපදෙස් ලබාදීම සිදුවිය.

අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල නිලධාරීහු මෙම රැස්වීම සඳහා එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website