මහජන නිවේදනය; ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව

2025 නොවැම්බර් 20 වන දින

ශ්‍රී ලංකාව තුළ 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත (RTI පනත) බලාත්මක කිරීම සම්බන්ධයෙන් දස වසරක සංවත්සරයට (2026) ආසන්න වෙමින් පවතින අතර, ලොව පුරා එවන් අයිතිවාසිකම් සහතික කිරීමේ නීතීන් බලාත්මක වන රටවල් සම්බන්ධයෙන් වන ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රී ලංකාව වඩාත් හොඳම රටක් වශයෙන් ස්ථානගතකර ඇති මෙමඟින් රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනවලින් ස්වකීය තොරතුරු ලබා ගැනීමේ අයිතිවාසිකම සාක්ෂාත් කරගැනීමට දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින්ට ඉඩහසර උදාවී තිබේ.

මහජනතාව විසින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත (RTI පනත) ඉතාම පුළුල් අන්දමින් භාවිතා කිරීම සමඟම ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව (RTIC) විසින් අවධාරණය කරන ලද රාජ්‍ය ආයතන වල තීරණයන්හි විනිවිදභාවය පිළිබඳ මූලධර්ම අභියාචනාධිකරණ විසින් ද තහවුරු කර ඇත.

වර්ෂ 2020 දී, එක්සත් ජාතීන්ගේ මහා මංඩලයේ තිරසාර සංවර්ධනය පිළිබඳ ඉහළ මට්ටමේ දේශපාලන සංසදයට (‘පොරොන්දුවේ සිට ප්‍රායෝගික භාවිතය දක්වා…’) ඉදිරිපත් කරන ලද යුනෙස්කෝ ගෝලීය වාර්තාව මගින් ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව (RTIC) වෙත ඉදිරිපත් වූ තොරතුරු ඉල්ලීම් සම්බන්ධයෙන් වන තොරතුරු මුදාහැරීමට ගන්නා ලද පියවරයන් සම්බන්ධයෙන් පැහැදිලි කරමින් පෙන්වාදෙන ලද්දේ, ශ්‍රී ලංකාව තොරතුරු දැනගැනීමේ අයිතිය බලාත්මක කිරීම සම්බන්ධයෙන් වන ‘හොඳම ප්‍රායෝගික භාවිතයේ’ ආකෘතියක් වශයෙන් තෝරාගෙන ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වන අනෙකුත් කරුණු අතර, ලෝක බැංකුව විසින් ‘විනිවිදභාවයේ ප්‍රමුඛතාවය’ සහතික කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇති අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මගින් ‘රාජ්‍ය අධිකාරීන් අතර (වර්ධනය වෙමින් පවතින) විනිවිදභාවයේ සංස්කෘතියක්’ පෝෂණය කිරීම සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව විසින් ගෙන ඇති පියවරයන්හි සාධනීය බව පිළිගෙන ඇත (රාජ්‍ය පාලනය පිළිබඳ ගැටලු හඳුනා ගැනීමේ වාර්තාව, 2023 සැප්තැම්බර්).

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව සම්බන්ධයෙන් මෙවන් වූ ධනාත්මක ප්‍රගතිශීලී තත්ත්වයන්හි වර්ධනයන් තිබියදීත්, මෙම කොමිෂන් සභාව ස්වකීය ආයතනික පද්ධතියේ දිගකාලීනව පවතින මෙතෙක් නොවිසඳුනු කාර්ය මණ්ඩල හිඟය පිළිබඳව ස්වකීය බරපතල කනස්සල්ල පළ කරයි. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත මඟින් ආයතන දෙකක් මත වගකීම් පවරා ඇති අතර, එකී ආයතන ද්විත්වය වන්නේ අභියාචනා විභාග කිරීමේ මූලික වගකීම දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව (RTIC) සහ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීමේ වගකීම සහිත ජනමාධ්‍ය විෂය පවරා ඇති රේඛීය අමාත්‍යාංශය එකී කාර්යය සඳහා වන කේන්ද්‍රීය ආයතනයයි ( තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ 2 වන වගන්තිය).

එකී පනතේ 41 වන වගන්තිය යටතේ, උක්ත කී කේන්ද්‍රීය ආයතනය තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ රෙගුලාසි නිකුත් කරන අතර ඒවා අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. ඊට වෙනස්ව, එකී පනතේම 42 වන වගන්තියේ සඳහන් වන්නේ එම ගැසට් පත්‍රයේම (එනම්; අංක 2004/66 දරන අති විශේෂ ගැසට් පත්‍රය) ප්‍රකාශයට පත් කරන ලද ගාස්තු සහ අභියාචනා ක්‍රියා පටිපාටිය පිළිබඳ කොමිෂන් සභාවේ රීති පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම නෛතික වශයෙන් අවශ්‍ය නොවන බවයි. එහිදී, එක් එක් අවස්ථාව සම්බන්ධයෙන් වෙනස් ක්‍රියා පටිපාටි ද්විත්වයක් අදාළ වේ.

පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ කාර්යක්ෂමතාව උපරිම තත්ත්වයට ලඟාකරගැනීම සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව (RTIC) සහ උක්ත කී කේන්ද්‍රීය ආයතනය හෙවත් රේඛීය අමාත්‍යංශය ඒකාබද්ධව සහයෝගයෙන් කටයුතු කළ යුතු අතර, අභියාචනා සඳහා පාර්ශවකරුවන් ලෙස තමන් ඉදිරියට කැඳවනු ලබන පොදු අධිකාරීන්ගෙන් ස්වකීය ආයතනික ස්වාධීනත්වය පවත්වා ගැනීමට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවට (RTIC) විශේෂ යුතුකමක් ඇත. විශේෂයෙන්, ස්වාධීන කාර්ය මණ්ඩල බඳවා ගැනීම සහ ස්වකීය මූල්‍ය ස්වාධීනත්වය සුරක්ෂිත කරනු පිණිස අත්‍යාවශ්‍ය වන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවටම වෙන් වූ අරමුදලක් (පනතේ 13 (3) සහ 16 වගන්ති) හරහා එකී මූල්‍ය ස්වාධීනත්වය ඇති කිරීම අවශ්‍ය වන අතර එසේ නොවන විට කොමිෂන් සභාවේ ක්‍රියාකාරී ස්වාධීනත්වයක් ස්ථාපිත කළ නොහැක.

එබැවින්, අනුප්‍රාප්තික රජයන් විසින් මෙම ව්‍යවස්ථාපිත ආරක්ෂණ නොසලකා හැරීම අතිශයින් කණගාටුදායකය. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවටම වෙන් වූ අරමුදලක් ක්‍රියාත්මක කිරීමට ඉඩ ප්‍රස්ථාව මේවන තෙක් සලසා දී නොමැත. ඉහළ යමින් පවතින අභියාචනා රාශියක් සම්බන්ධයෙන් ස්වකීය කාර්යය කර්තව්‍යයන්ට අදාළ කටයුතු කිරීම සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව නාමික කාර්ය මණ්ඩලයක්, එනම් එක් නීති නිලධාරියෙකු සහ නීති සහායකයින් දෙදෙනෙකුගෙන් (පසුව තිදෙනෙකු දක්වා වැඩි කරන ලදී) සමන්විත අවම මානව සම්පත් ප්‍රමාණයක් සමඟ ක්‍රියාත්මක වේ.

තොරතුරු තාක්ෂණ (IT) සහායක වැනි මධ්‍යම මට්ටමේ තනතුරු බඳවා ගැනීම සඳහා අනුමැතිය ද ඇතුළුව අතිරේක නීති කාර්ය මණ්ඩලය සහ අනෙකුත් අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩලය සඳහා වන ඉල්ලීම් නොසලකා හැර ඇත. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවට අවශ්‍ය කාර්යමණ්ඩල අවශ්‍යතාවයන් මුදල් අමාත්‍යාංශයට යොමු කිරීමේදී, උක්ත කී කේන්ද්‍රීය ආයතනය හෙවත් රේඛීය අමාත්‍යංශය හරහාම සිදු කිරීමට සිදුව ඇති පසුබිමක එම ක්‍රියාවලිය එක් අවස්ථාවකදී මාස අටකින් පමණ වූ ප්‍රමාදක් ද ඇතු`ඵව සමස්ථයක් වශයෙන් පැහැදිලි කළ නොහැකි ලෙස ප්‍රමාද වී ඇත.

තවද, වර්ෂ 2017 දී රජයට ස්වකීය අයවැය ප්‍රතිපාදනවලට අනුකූලව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවට (ඍඔෂක්‍) ජාතික අයවැයෙන් වෙනම වැය ශීර්ෂයක් වෙන් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව කොමිෂන් සභාව විසින් නැවත නැවතත් රජයට දැනුම් දී ඇති අතර එය පසුව ඉවත් කරන ලද අතර නැවතත් උක්ත කී කේන්ද්‍රීය ආයතනය හෙවත් රේඛීය අමාත්‍යංශය යටතේ ප්‍රතිපාදන ලබාදීම සිදු කර ඇති අතර එමඟින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ (ඍඔෂක්‍) මූල්‍ය හා ක්‍රියාකාරී ස්වාධීනත්වය අඩපණ වන බව අවධාරණය කළද එම තත්ත්වයද නොසලකා හැර ඇත.

මීට අමතරව, විපක්ෂ මන්ත්‍රී ගරු අජිත් පී. පෙරේරා මහතා විසින් අසන ලද පාර්ලිමේන්තු ප්‍රශ්නයකට අදාළව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට වර්ෂ 2025 ඔක්තෝබර් 15 වන දින තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ (RTIC) කාර්යාලය විසින් සිංහල භාෂාවෙන් යවන ලද ප්‍රතිචාරයක වැරදි ඉංග්‍රීසි පරිවර්තනයක් භාවිතා කරමින් වර්ෂ 2025 නොවැම්බර් 11 වන දින නොමඟ යන අන්දමේ මාධ්‍ය වාර්තා මගින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවෙහි අභියාචනා කාර්යයට බරපතල හානියක් සිදු කර ඇත.

මෙම සාවද්‍ය මාධ්‍ය වාර්තා සාමාන්‍යයෙන් පදනම් වී ඇති එකී ඉංග්‍රීසි පරිවර්තනයේ මූලාරම්භය පිළිබඳව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව (RTIC) මේ වනතෙක් නොදැනුවත්ය.

වර්ෂ 2025 ඔක්තෝබර් 15 වන දිනැතිව, තොරතුරු ඉල්ලීම් පිළිබඳව කොමිෂන් සභාවේ අභියාචනා සංඛ්‍යාලේඛන ඉල්ලා සිටින සාමාන්‍ය පාර්ලිමේන්තු ප්‍රශ්නයකට ප්‍රතිචාර වශයෙන් වර්ෂ 2025 ජනවාරි 1 සිට වර්ෂ 2025 සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ (RTIC) අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ පවතින කාර්යාලයට ලැබුණු අභියාචනා 1306 න් අභියාචනා 308 ක් ‘කල් තැබීම් / adjourned ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හරහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව විසින් පෙන්වාදෙන ලදී.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව (RTIC) වර්ෂ 2025 සැප්තැම්බර් 30 වන දින දක්වා අභියාචනා 1157 ක (1306 න්) අවසාන තීරණ ලබා දී එකී අභියාචන ක්‍රියාවලීන් අවසන් කර ඇත. අභියාචනා 308 ක් ‘කල් දමා’ ඇත. පාර්ශවයන්ගේ ඉල්ලීම, විෂය කරුණු වල නීතිමය සංකීර්ණතාවය යනාදිය ඇතුළු සාධාරණ හේතු මත කල් තැබීම ඕනෑම විනිශ්චය සභාවක සාමාන්‍ය විභාග කිරීමේ ක්‍රියාවලියේ කොටසකි. විභාග කිරීම් වලට අදාළව ‘කල් තැබීම් / adjourned අභියාචනාවන් ‘ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වූ තත්ත්වයන්’ වශයෙන් වාර්තා කිරීම බරපතල අන්දමේ වැරදි තොරතුරු හුවාදැක්වීමකි. මෙම වාර්තා කිරීම් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව (RTIC) දකින්නේ ඒවා ස්වකීය කොමිෂන් සභාවේ අර්ධ-අධිකරණ අභියාචන බලය සම්බන්ධයෙන් කෙරෙන චේතනාන්විත මැදිහත්වීමක් වශයෙනි.

සාමාන්‍යයෙන්, කල් දැමූ අභියාචනා වසරේ ඉතිරි කාලය තුළ විසඳනු ලැබීම හෝ විභාග අවසන් කිරීම සඳහා ඊළඟ වසරට ගෙන එනු ලැබීම සිදු කෙරේ. උදාහරණයක් ලෙස, වර්ෂ 2025 නොවැම්බර් 15 වන දින වන විට, කල් දැමූ අභියාචනා සංඛ්‍යාව 244 දක්වා අඩු වී තිබුණි. ඒ අනුව, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ (RTIC) කාර්යාලයට ලැබුණු අභියාචනා සංඛ්‍යාව 1538 දක්වා වැඩි වී ඇති අතර අභියාචනා 1304 ක් සම්බන්ධයෙන් වන කටයුතු අවසන් කර ඇත. ගොනු කරනු ලබන අභියාචනා සංඛ්‍යාවේ ‘අඩු කිරීමක්‘ සිදුවී නොමැත.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව (RTIC) විසින් තවදුරටත් පැහැදිලි කරනු ලබන්නේ එහි අරමුදල් වෙන් කිරීම අඩු වී නොමැති බවයි. එම පාර්ලිමේන්තු ප්‍රශ්නයට පිළිතුරෙහි වර්ෂ 2025 ඔක්තෝබර් 23 වන දින හැන්සාඩ් වාර්තාවේ වාර්තා කර ඇති පරිදි, එහි සඳහන් අයවැය ප්‍රතිපාදන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවෙහි (RTIC) අයවැය ප්‍රතිපාදන නොවන අතර ඒවා පිළිබඳ තොරතුරු පහත දක්වා ඇති යොමුවෙන් ඕනෑම තැනැත්තකුට ලබා ගත හැකිය.

https://www.rticommission.lk/web/images/pdf/Budget/Annual-Budgetary-Allocation-and-Expenses.pdf

වර්ෂ 2025 නොවැම්බර් 13 වන දින එවැනි නොමඟ යවන සුළු ප්‍රවෘත්ති වාර්තා සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීමේ අයිතිය තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව (RTIC) විසින් ඊට ප්‍රතිචාර දක්වන ලදී. කෙසේ වෙතත්, පුවත්පත් සඳහා වන ආචාර ධර්ම පද්ධතිය උල්ලංඝනය කරමින් සහ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව (RTIC) විසින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමට අවශ්‍ය වන අන්දමින් එම පුවත්පත් අද දින දක්වා කොමිෂන් සභාවේ එම පිළිතුරු ප්‍රතිචාරය ප්‍රකාශයට පත් කිරීමට අපොහොසත් වී ඇත.

අවසාන වශයෙන්, තොරතුරු අයිතියේ ස්වභාවය අවතක්සේරු කරන ආකාරයෙන් ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත (RTI Act) සංශෝධනය කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් පුරවැසියන්ට අහිතකර වන බවත්, එවැනි තත්ත්වයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14A ව්‍යවස්ථාවේ අරමුණුගත හරයට හානි කරන බවත් සහ තොරතුරු දැනගැනීමේ අයිවිවාසිකම පිළිබඳ රෙජිමය යටතේ මෙතෙක් ලබා ඇති ප්‍රගතිශීලී ජයග්‍රහණවලට බරපතල පසුබෑමක් ඇති කරන බවත් ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව (RTIC&) මගින් අවධාරණය කරනු ලබයි.

කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා, අධ්‍යක්ෂ ජනරාල්, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව (RTIC)

(තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව සඳහා සහ වෙනුවෙන්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website