දිවයිනට සමාන්තරව නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අවපීඩන තත්ත්වය පීඩන අවපාතයක් දක්වා ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බවත් මෙම තත්ත්වය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි.
මෙම පද්ධතිය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ සම්භාවිතාවක් නොමැති බවත් ගැඹුරු පීඩන අවපාතයක් ලෙස දිවයිනට ඇතුළු වුවහොත් නැගෙනහිර, උතුරු , උතුරු මැද පළාත්වලට වර්ෂාව අධික විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
ජනවාරි මස 10 වැනි දින වන විට මෙම පද්ධතිය දුර්වල මට්ටමකට පැමිණ වර්ෂාවේ අඩුවක් දක්නට හැකි බවත් 11 වැනි දින වනවිට දිවයිනෙන් ඉවත්ව යනු ඇති බවත් කරුණානායක මහතා පෙන්වා දෙයි.
කරුණානායක මහතා මේ බව පැවසුවේ අද (08) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකචඡාවකට සහභාගී වෙමිනි.
මෙම ගැඹුරු පීඩන අවපාතය හෙට (09) පස්වරු 5.30ත් පස්වරු 11.30ත් අතර කාලයේ හම්බන්තොට සහ කල්මුණේ ප්‍රදේශ ආශ්‍රිතව නැගෙනහිර වෙරළ තීරයෙන් දිවයිනට ඇතුළු විය හැකි බවත් එසේ වුවහොත් මිලිමීටර 100 ඉක්මවන තද වැසි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා හෙළි කළේය.
“නැගෙනහිර පළාතට තද වැසි මෙන්ම පැයට කිලෝමීටර් 70 – 80 අතර තද සුළං ඇතිවීමේ හැකියාවක් තිබෙනවා. තව ද අහස වළාකුළෙන් බරව පවතින අතර දිවයිනේ සෙසු ප්‍රදේශවලට මිලිමීටර 50 -75 දක්වා වැසි අපේක්ෂා කරනවා. තව ද මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ මෙන්ම දකුණු පළාතේ සුළඟේ වේගය අඩු විය හැකියි. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට බලපාන සුළඟේ වේගය හේතුවෙන් ගස් කඩා වැටීම් වහළවල් ගැළවීයාම වැනි අනතුරු සිදු විය හැකි හෙයින් ජනතාව ඒ ගැන විමසිලිමත් විය යුතුයි” ඔහු වැඩි දුරටත් පැවසුවේය.












