දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම්වලින් හානි වූ ගම්මිරිස්, කෝපි සහ කරඳමුංගු නැවත වගා කිරීම සඳහා හෙක්ටයාරයකට උපරිම වශයෙන් රුපියල් 425,000 ක දීමනාවක් එම වගාවන්හි නිරත ගොවීන්ට ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
එම වගාවන්හි පාළු සිටුවීමට සහ නැවත වගාවට අවශ්‍ය පැළ, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩසටහන් මගින් නොමිලයේ ලබාදීම සඳහා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ (05) රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය.
අපනයන කෘෂිකර්ම ක්ෂේත්රයේ ආර්ථිකමය වැදගත්කම සැලකිල්ලට ගෙන ආපදාවෙන් හානි වූ දිගුකාලීන අපනයන කෘෂි බෝග නැවත වගා කිරීම සඳහා ද සහන සැලසීමේ අවශ්‍යතාවය හඳුනාගනිමින් මෙම තීරණ ගෙන ඇත.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පැන නැගුණු හදිසි ආපදාවෙන් හානියට පත් කෙටි කාලීන වගාවන් වෙනුවෙන් ගොවීන්ට සහන සැලසීම පිණිස අවශ්‍ය උපදෙස් අයවැය චක්‍රලේඛ අංක 08/2025 සහ 08/2025(i) මගින් මේ වන විට නිකුත් කර ඇත.
















