අගමැතිනී හරිනි අමරසූරිය නිකුත් කළ නත්තල් දින සුබ පැතුම් පණිවුඩය

May be an image of text

දෙසැම්බර් මාසය උදා වත්ම කිතුනු බැතිමත්හු අසිරිමත් නත්තල සැමරීමට සැරසෙති. සාමයේ පණිවිඩය රැගෙන ජේසු බිළිඳා උපත ලැබූ පුවත බෙත්ලෙහෙම් පුරයෙන් ලොවට ඇසුණු ඒ නත්තල, ප්‍රීතියෙන් සැමරීම කිතුනුවන්ගේ අභිලාෂයයි.

නමුත් මෙවර සීතල දෙසැම්බරය උදාවූයේ වෙනදා තරම් ප්‍රීතියකින් හෝ උද්‍යෝගයකින් නොවේ. මුළු මහත් රටම කම්පා කරමින් ඇති වූ ස්වභාවික ව්‍යසනයෙන් විපතට පත්වූ දහස් ගණනක් වූ අපේම සහෝදර ජනතාවගේ දුක් වේදනා හා සෝ සුසුම් මධ්‍යයේය.

එහෙත් නත්තලේ සැබෑ අරුත පෙරදැරිව, ජේසුස් වහන්සේගේ මඟපෙන්වීම් අනුව, අපේ රටේ ජනතාව සියලු භේද දුරලා එකාවන්ව සමගිය හා සාමූහිකත්වය පෙරදැරිව විපතට පත් තම සහෝදර ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වූයේ ආදරය, සහකම්පනය මෙන්ම ජේසුස් වහන්සේ දේශනා කළ ‘අනෙකාට ප්‍රේම කිරීමේ’ උතුම් ධර්මතාව ලොවටම පෙන්වා දෙමිනි.

රට යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා සියලු ජන කොටස් ඒකායන පරමාර්ථයකින් සහ සාමූහික වගකීමකින් දේශයේ අනාගතය වෙනුවෙන් එකමුතු විය යුතු අවස්ථාවකට අප දැන් එළැඹ ඇත්තෙමු.

සැබෑ වෙනසක් බලාපොරොත්තු වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ අපේක්ෂාවන් කිසිදු අයුරකින් කඩ වීමට ඉඩ නොතබා, ඔවුන් අපේක්ෂා කරන “අලුත් රටක්” ගොඩනැගීමේ ඒකායන අරමුණ වෙනුවෙන් අපි නිරන්තරයෙන් වෙහෙසෙන්නෙමු.

වඩා යහපත් හෙට දවසක් උදෙසා වන අප සැමගේ සිහිනය වෙනුවෙන් පුරවැසියන් ලෙස එකමුතුව, ආදරයෙන්, සහකම්පනයෙන් මෙන්ම වගකීම් සහගතව කටයුතු කිරීමට මේ නත්තල් දිනයේ අපි සැම අධිෂ්ඨාන කර ගනිමු.

ලංකාවාසී සහ ලෝකවාසී සමස්ත කිතුනු බැතිමතුන්ට සුබ නත්තලක් වේවායි ප්‍රාර්ථනා කරමි!

ආචාර්ය හරිනි අමරසූරිය, අග්‍රාමාත්‍ය,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website