
‘දිට්වා‘ සුළි කුණාටුවෙන් ආපදාවට පත් පාසල් අතර කඩිනමින් යථා තත්ත්වයට පත් කළ හැකි පාසල් ප්‍රතිසංස්කරණය කිරීමටත්, අවදානම් සහිත පාසල් වෙනත් ආරක්ෂිත ස්ථානවල ස්ථාපිත කිරීමටත් අවශ්‍ය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
’දිට්වා’ සුළි කුණාටුවෙන් හානි සිදු වූ බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ජාතික පාසල අද (24) දින නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.
පැවති තද සුළඟ හේතුවෙන් ගසක් කඩා වැටී මුළුමනින්ම හානි වූ, කැටවත්ත යෝධ උල්පත ප්‍රජා ශාලාවේ පවත්වා ගෙන ගිය පෙර පාසල නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍යවරිය ආරක්ෂිත ස්ථානයක යළි එම පෙර පාසල ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නා ය.
පෙර පාසල් ගුරුවරුන් සඳහා ලබා දෙන දීමනාව නිසි පරිදි ලබා දීම පිළිබඳව ද මෙහි දී අවධානය යොමු විය. ආපදාවෙන් පසු පවත්වා ගෙන යාමට නොහැකි වන සේ හානි වූ පෙර පාසල් පිළිබඳ සොයා බලා, එම ගුරුවරුන් හට දීමනාව අඛණ්ඩව ලබා දීමට අවශ්‍ය කටයුතු සැලසිය යුතු බව ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවා ය.












