
එම්.ඩී. සුසිලා ලූර්දු – ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරි, අධ්‍යාපන හා පුහුණු අංශය, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය
දේශගුණික විපර්යාස, විශේෂයෙන් ගංවතුර සහ නායයෑම් වලදී සහ ඉන් අනතුරුව පැමිණෙන තත්වය තුළ කාන්තාවන්ට දැරීමට සිදු වන සමාජීය හා ආර්ථික වගකීම්, අප්‍රමාණ වේ. ස්වාභාවික ව්‍යසනයක් ඇති වූ විට, විනාශ වන්නේ නිවාස සහ මාර්ග පමණක් නොවේ. සමස්ත සමාජ ව්‍යුහය, ජීවනෝපායන්, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ පවුල්වල ස්ථාවරත්වය ද බිඳී යනු ලබයි මෙවැනි තත්වයක් තුළ, කාන්තාවක් – මව්වරුන්ලෙස, ගොවි කාන්තාවන් ලෙස, කම්කරුවන් සහ නායිකාවන් ලෙස වඩාත් තීරණාත්මක සහ බොහෝ විට කිසිවෙකුට නොපෙනෙන හඳුනා නොගත් කාර්යභාරයන් රාශියක් ඉටු කරනු ලබයි. මෙවැනි පසුබිමක් තුළ විශේෂයෙන් අවධානායට ලක් කළ යුතු ප්‍රධාන කරුණු 3 ක් කෙරෙහි මෙම ලිපිය අවධානය යොමු කිරිමට අපේක්ෂා කෙරේ.
- ආපදා ප්‍රතිසාධනයේදී කාන්තාවන්ගේ සමාජීය හා ආර්ථික වගකීම් මොනවාද?
- ශ්‍රී ලංකාවේ අවතැන් කඳවුරුවල කාන්තාවන් සහ දරුවන් ආරක්ෂා කරන්නේ කෙසේද?
- දුෂ්කර වු තාවකාලික නවාතැන් තත්වයන් යටතේ සනීපාරක්ෂාව පවත්වා ගන්නේ කෙසේද?
දේශගුණික විපර්යාස, ආපදාතතත්වය තුළ කාන්තාව
ශ්‍රී ලංකාව අනපේක්ෂිත මෝසම් වැසි, දැඩි වර්ෂාපතනය, නායයෑම් සහ ගංවතුර වලට ගොදුරු වීමේ අවදානම වර්තමානය වන විට වැඩි වෙමින් පවතී. ඇත්තෙන්ම මෙම ව්‍යසනයන් ප්‍රජාවගේ දෛනික ජීවිතය වෙනස් කිරීමටත්, දේපළ විනාශ කිරීමටත් එමෙන්ම පවුල් ජීවිත අනතුරේ හෙළීමටත් හේතු වෙනවා. මේ සියලු භෞතික හානිවලින් ඔබ්බට ගිය විශාල, ව්‍යසනයන් නිවසේ පවුල තුළ ඇතිවෙනවා. බොහොම රේඛීය තත්වයක සුවපහසු ලෙස ගලාගිය පවුල් පසුබිමක් සහ ඊට අදාළ සමාජ භූමිකාවන් සහ වගකීම් වෙනස්ම තත්වයකට පරිවර්තනය වෙනවා.
කාන්තාවන් සාමාන්‍යෙයන් පවුල තුළ සාම්ප්‍රදායිකව වැටුපක් නොගෙනවගකීම් රාශියක් සත්කාර කටයුතු රාශියක් ඉටුකරනවා. නමුත් මෙවැනි ආපදා අවස්ථාවන්හිදී, වඩාත් තීරණාත්මක ලෙස පවුල තුළ මෙම භූමිකාවන් වැඩිවර්ධනය වේ. ආපදාවකට ලක් වූ පවුලක නිවසේ පළමු ප්‍රතිචාර දක්වන්නා වෙන්නේ කාන්තාව.ඒ වගේම අනිත් සාමාජිකයින්ව රැකබලා ගන්නා වෙන්නේත් ඇයයි. ඒ වගේම සම්පත් කළමනාකරුවා, අර්බුදය තුළප්‍රධාන සන්නිවේදකයා වෙන්නේත් ඇයයි. කෙටියෙන් කියනවා නම් පවුල තුළ සියලු සංවේදී වූ කාරණා තුල සහ චිත්තවේගීය තත්වයන් පාලනය කරන්නා වෙන්නේ ඇයයි. ඇයි අපි ඒ විදියට කියන්නේ? අපි කවුරුත් දන්නවා, පවුලක තාත්තා ආර්ථික වශයෙන් බලසම්පන්න වෙන්න පුලුවන් නමුත් සියලු ආර්ථික හා සමාජ කාරණා සමබරකර කරන්නිය ඇයයි. මේ ව්‍යසනය තුල ඔවුන්ගේ දායකත්වයන් බොහෝ විට අවධානයට ලක් නොවන නමුත් ඒවා ප්‍රජා සුවය සඳහා වඩාත් තීරණාත්මකයි
පශ්චාත් ආපදාවෙන් නැවත නැඟී සිටීමේ දී කාන්තාවන්ගේ සමාජ වගකීම්
පවුලේ ආරක්ෂාව සහ චිත්තවේගීය තත්වයන් සමනය කිරිමේ දි ප්‍රධාන වගකීමක් ඇත්තේ, කාන්තාවන්ට වේ. අවතැන් වීමෙන් පසු, අවිනිශ්චිතතාවය සහ බිය ප්‍රධාන අභියෝග වේ. කාන්තාවන් බොහෝ විට පෙරමුණ ගතයුතු වන්නේ, බියට හා සන්ත්‍රාසයට පත් දරුවන්ව සන්සුන්ව තබා ගැනීම සඳහායි. ඔවුන්ගේ මානසික සුව සහනය සැලසිමයි. පවුල් කිහිපයක් එක්ව වාසය කිරීම පහසු කටයුත්තක් නොවේ. එහිදී සියලු දරුවන්ට සමාන සේ සැලකිමටත් ස්වකීය දරුවන්ට සමගිය පවත්වා ගැනිමටත් චිත්තවේගීය ඔරොත්තු දීමේ හැකියාව ඇතිකරගැනීමටත් මවක් ලෙස සහයෝගය දිය යුතු වේ. එසේම නිවසේ සිටි වැඩිහිටියන්ට අවශ්‍ය සුරක්ෂිතතාව සහතික කිරිමත් විශාල වගකීමක් වේ.
අධ්‍යාපනය සහ ළමා යහපැවැත්ම පවත්වා ගැනීම
බොහෝ අවස්ථාවලදී, සති හෝ මාස ගණනක් පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වේ. ඒ සඳහා මැදිහත් වන්නේ කාන්තාවන් වන අතර ඇයට විශාල වගකීමක් පැවරේ. තමන් තාවකාලිකව වාසය කරන ස්ථානයේ ඇති පහසුකම් සලකා බලමින් අවිධිමත් ඉගෙනුම් පරිසරයක් සකස්කරගැනීමට කාන්තාව සැලකිලිමත් විය යුතු වේ. එමෙන්ම ආපදා තත්වයන් යථා තත්ත්වයට පත් වන තෙක් පාසැල් දරුවන්ට තාවකාලික පාසැල් පැවැත්වෙන අතර ළමයින් තාවකාලික පාසල්වලට සහභාගී වීම සහතික කිරීම ද කාන්තාවගේ සුවිශේෂී වගකීමක් වේ. මෙවැනි තත්ත්වයක් තුළ ඵමා මනස ලබන අත්දැකිම් ඔවුන්ගේ දිගුකාලීන මානසික ස්ථාවරත්වය තීරණය කිරිමට සෘජුවම බලපානු ලබයි. එබැවින් තාවකාලික නවාතැන්වල දි තමන් ආරක්ෂා වී දරුවන් සහ තම පවුල ද ආරක්ෂා කිරීම ඇගේ වගකීමයි.
තාවකාලික නවාතැන්වල දි සහ අවතැන් කඳවුරු වාසය කිරිම නිසා පවුල් ප්‍රචණ්ඩත්වය, හිරිහැර, සොරකම් සහ සූරාකෑම වැනි අවදානම් තත්ත්වයන්ට බොහෝ විට වන බැවින් කාන්තාවක් විසින් ඉතා සූක්ෂමව. ආරක්ෂණ උපාය මාර්ග පිළිබඳ දැනුවත් විය යුතු වේ. ඒ සඳහා කාන්තාවන් විසින් තමන්ට සහ ළමුන් සඳහා වෙන් කරන ලද, නම් කරන ලද ආරක්ෂිත අවකාශයන් භාවිතා කිරිම, අවදානම් සහ නොදන්නා ප්‍රදේශයක් නම් තනිව ඇවිදීමට නොයාම, කාන්තාවන්ට පමණක් ඇති නාන සහ වැසිකිළි පහසුකම් වෙත ප්‍රවේශ වීම සහ පොලිස් හෝ ප්‍රජා පාදක ආරක්ෂක මුර සංචාර තිබෙන බැවින් එ් පිළිබඳ දැනුවත් වීමසිදු කළ යුතු වේ.
ව්‍යසන තත්වය තුල ඇතිවන අර්බුදයේදී ගෘහ සම්පත් කළමනාකරණය කිරීම, සෞඛ්‍ය හා සනීපාරක්ෂාව පවත්වා ගැනීම
මෙවැනි තත්වයන් තුළ දී ආහාර හිඟය, ජලය සපයාගැනීම සහ ආදායම් අහිමි වීම යන පසුබිම තුළ කාන්තාවන් ප්‍රවේශමෙන් තීරණ ගත යුතු වේ. බෙදා හරින ලද වියළි ආහාර කළමනාකරණය කිරීම, ළමුන්, ගර්භනී කාන්තාවන් සහ වැඩිහිටියන් සඳහා ආහාර සඳහා ප්‍රමුඛතාවය දීම, ආහාර නාස්තිය අවම කිරීම සහ සීමිත ඇඳුම්, පාසල් භාණ්ඩ සහ ඖෂධ කළමනාකරණය කිරීම ඇගේ වගකීම් වේ.
ජලය, සනීපාරක්ෂාව සහ පුද්ගලික සනීපාරක්ෂාව මෙහිදි ඉතා වැදගත් වේ. අවතැන්වීමේදී සනීපාරක්ෂාව පවත්වා ගැනීම අතිශයින් අභියෝගාත්මක වේ. විශේෂයෙන් තරුණ කාන්තාවන්ට සහ දරුවන්ට ඇතිවන අපහසුතාවය ඉතා ඉහළ වේ. මෙහිදි කාන්තාව , පවුලේ මව මේ සඳහා සාර්ථක උපාය මාර්ග අනුගමනය කළ යුතු වේ. පවත්නා පානීය ජලය ආරක්ෂා කර ගැනිම සහ ආරක්ෂිතව පානීය ජලය බෙදා ගැනීම, ජල පිරිපහදු පෙති භාවිතය, නිසි කසළ බැහැර කිරීමේ පද්ධති භාවිතා කිරීම, සනීපාරක්ෂක පිළිවෙත් පිළිබඳ පැහැදිලිව අවපෝධය ලැබීම හා සන්නිවේදනය කිරීම යන කරුණු තුළ කාන්තාවන් බොහෝ විට මූලික වගකීම දරයි.
සෞඛ්‍ය හා සනීපාරක්ෂාව පවත්වා ගැනීමේ දි වඩා සංවේ දී කාරණයක් වන ඔසප් සනීපාරක්ෂාව කළමනාකරණය කරගැනීම කාන්තාවන්ට සුවිශේෂි තත්වයක් වේ.ඔසප් සෞඛ්‍යයට ප්‍රමුඛතාවය දීමට කාන්තාවන විශේෂයෙන් කළ යුතු කාරණා ඇත. බොහෝ විට බෙදා පිටතින් බෙදා හරින සනීපාරක්ෂක උපකරණ( සනීපාරක්ෂක තුවා වැනී) ගැන දැඩි අවධානයකින් සැලකිලිමත් විය යුතු වේ. එසේම පුද්ගලික සහ ආරක්ෂිතව එම අපද්‍රව්‍ය බැහැර කිරීමේ පහසුකම්දරැවන්ට සපයා දීමට කාන්තාවට විශාල වගකීමක් ඇත. මෙවැනි අවස්ථාවක හැසිරෙන ආකාරය පිළිබඳව තරුණ දූ දරුවන් දැනුවත් කළ යුතු වේ. එසේම මේ සඳහා පිරිසිදු ජලය අරපරිස්සමින් ලබාගෙන භාවිත් කළ යුතු වේ. මෙම අවශ්‍යතා නොසලකා හැරීම ගෞරවය, සෞඛ්‍යය සහ අනාරක්ෂිතභාවයට වඩාත් බලපානු ලබයි.
ආහාර සනීපාරක්ෂාව සහ පිරිසිදු ආහාර පිළිවෙත්
මෙවැනි පසුබිමක් තුළ රෝග පැතිරීම ඉතා ඉක්මණින් සිදු වේ. එය ආහාර මඟින් සිදු වීම වැඩි අතර එය වැළැක්වීම සඳහා සාමූහික පිරිසිදුකම පවත්වා ගැනිමට කාන්තාවන් පෙරමුණ ගත යුතුය. සිටින ප්‍රදේශ අසල ප්‍රමාණවත් පරිදි අපද්‍රව්‍ය බඳුන් සපයා ගත යුතු වේ. පිටතින් ලැබෙන ආහාර ආරක්ෂිතව ගබඩා කළ යුතු අතර සෞඛ්‍ය නිලධාරීන්ගේ නිතිපතා පරීක්ෂණ සඳහා සහය දිය යුත් වේ. මෙම කළමනාකරණයේදී කාන්තාවන් වෙත ප්‍රධාන කාර්යභාරයක් පැවරේ.
දේශගුණික විපර්යාස මගින් තීව්‍ර වන ව්‍යසන හමුවේ, ශ්‍රී ලංකාවේ කාන්තාවන් දැවැන්ත වගකීමක්් දරමින් සිටිති. සමාජීය, චිත්තවේගීය, ආර්ථික සහ ප්‍රජා කේන්ද්‍රීය මට්ටමින් කාන්තාව විසින් ඔවුන්ගේ මෙන්ම අසල්වැසියන් සහ හිතවතුන් ගේ පවුල් ආරක්ෂා කරනු ලබයි. ජීවනෝපායන් නැවත ගොඩනඟයි, අවතැන් කඳවුරුවල සනීපාරක්ෂාව පවත්වා ගනී, දරුවන්ගේ සහ අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වල ආරක්ෂාව සහතික කරයි. මේ අනුව කාන්තාව, මෙවැනි ව්‍යසනයන් තුළ බොහෝ විට කිසිවෙකුට නොපෙනෙන හඳුනා නොගත් කාර්යභාරයන් රාශියක් ඉටු කරනු ලබයි.
















